Spread the love

නිමල් රාජපක්ෂ-

නොවැම්බර් 15 දිනට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය හා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) පරිශ්‍රයේ පිහිටි Courtyard by Marriott හෝටලයේදී පැවැත්විණි.

නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳව සමාජයේ අවබෝධය පුළුල් කිරීම සහ එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බවත්, එම දරුවාගේ ඉදිරි ජීවිතය නිරෝගීව හා සාමාන්‍ය වර්ධනයක් සහිතව ගොඩනැඟීම සඳහා අඛණ්ඩ පසු විපරම් සත්කාර අත්‍යවශ්‍ය වන බවත් පැවසීය.

විශේෂයෙන්ම නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන නොමේරූ ළදරුවන් කෙරෙහි ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, නිසි පසු විපරම් හා සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.

මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අවධානයක් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද අගය කළේය.