Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව, බිඳ වැටී ඇති ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ කඩිනම් සහන වැඩපිළිවෙල යටතේ, ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණහිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලෙස, ඒකකයක් වෙනුවෙන් රුපියල් 200,000/- ක්‌ ගෙවීමට තීරණය කර ඇත.

මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින්, අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්ත සහ මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායකත්වය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) හා ජාතික ශිල්ප සභාව (NCC) යන ආයතන වල ලියාපදිංචි වී ඇති ආපදාවට ලක්වූ කර්මාන්ත හිමිකරුවන්ට මෙම දීමනාව ලබා දීම සඳහා කඩිනමින් කටයුතු සම්පාදනය කරනු ලැබේ.

මේ සඳහා කර්මාන්ත හිමියන් විසින් www.industry.gov.lk වෙබ් අඩවිය හරහා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්, අපනයන සංවර්ධන නිලධාරීන් හා ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හරහා අයදුම්පත් යොමු කළ යුතුයි.

තවද ‘දිට්වා’ සුලි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම වෙනුවෙන් එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර ඇති අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව අමාත්‍යාංශයට තොරතුරු ලබාදීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇත.

මෙම තොරතුරු ලබාදීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර සිදුකළ යුතුය. www.industry.gov.lk වෙබ් අඩවිය හරහා තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලබා ගත හැක. මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ආපදාවට ලක්වූ සියළුම කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටත්, සම්බන්ධීකරණය කරගැනීමටත් අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
මේ දක්වා කර්මාන්තකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති තොරතුරු වලට අනුව, මහා පරිමාණ කර්මාන්ත 138 ක්, මධ්‍ය පරිමාණ කර්මාන්ත 718 ක්, කුඩා පරිමාණ කර්මාන්ත 1134 ක්, ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත 1009 ක් හා අපනයන කර්මාන්ත 285 ක් අපදාවට පත්ව ඇති අතර වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් හානි වී ඇති දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා වී ඇත. මෙම තොරතරු හුදෙක් දැනට වාර්තා වී ඇති දත්ත අනුව පමණක් බවද කාරුණිකව සඳහන් කරමි.