Spread the love

නිමල් රාජපක්ෂ

දීර්ඝ කාලයක් තිස්සේ ඌමා ඔය ව්‍යාපෘතිය නිසාවෙන් වැලිමඩ,ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථිර විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීට පෙර පැවති තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධය සලකා බලා, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ​මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරිමේදි ඉඩම් අහුමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත්, ඌවපරණගම සහ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක් වෙනුවෙන් ප්‍රදානය කිරීම අද (12) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කරන ලදි.

​කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීන්දු ගෙන ඇති අතර, මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර අත්සන් තබා ඇති බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ හරහා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ,ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු රැසක් කඩිනමින් විසඳීමට රජය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුලු නිලධාරීන් සහ ප්‍රතිලාභින් සහභාගී වූහ.