නිමල් රාජපක්ෂ-
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්රියාත්මක ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, කටුනායක ගුවන් තොටුපළ ඇතුළු දිවයිනේ සෙසු ගුවන් තොටුපළවල මගී ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්රියාත්මක ව්යාපෘතිවල වත්මන් ප්රගතිය මෙන්ම ගුවන් මගීන්ට වඩාත් පහසුකම් සැලසෙන අයුරින් ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්යාංශයේ ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල, නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරු ඇතුළු අදාළ ආයතනවල සහ මුදල් අමාත්යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
