Spread the love

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් අද (28) පස්වරු 06.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ  තිබී විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ සහ ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 84,000ක් අඩංගු දුම්වැටි කාටූන් 420ක් සහ ‘ඇපල්’ වර්ගයේ නවීනතම ජංගම දුරකථන 25ක් ද සොයා ගෙන ඇත.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.