නිමල් රාජපක්ෂ-
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින්, ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය ලබන ජූලි 06 වැනි දින සිට ජූලි 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි 06 වැනි සඳුදා පෙරවරු 11.00ට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේදී සෑම දිනයක්ම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ,
- ජූලි 06 – මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය
- ජූලි 07 – සේවා ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය
- ජූලි 08 – නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය
- ජූලි 09 – දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය
- ජූලි 10 – පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස නම් කර ඇත.
මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා මහජන සහභාගිත්වය ද අපේක්ෂා කෙරේ.
