Spread the love

නිමල් රාජපක්ෂ 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවා‍ව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් විෂය භාර අමාත්‍ය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සැලසුම් සහගත කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට  ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව  රුපියල් මිලියන 60 කට ආසන්න වියදමින් ඉදිකෙරුණු නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාල  ගෙඩනැගිල්ල සහ  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල යන ගොඩනැගිලි දිවිත්වය  ලබන (25) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

වසර 10 කට පසු තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව තැපැල් කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනු ලැබූ අතර, 2025 වසරේ අයවැයෙන් නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 600 ක මූ‌ල්‍ය ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 29.5 බැගින් වැය කර මෙම නව තැපැල් කාර්යාල දෙක ඉදිකර ඇත. 2025 අයවැය ප්‍රතිපාදන මත ඉදිකෙරුණු නව තැපැල් කාර්යාල 05 ක් සහ උප තැපැල් කාර්යාල 03 ක් මේ වනවිටත් ජනතා අයිතියට පත් කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජයන්තිපුර II ශ්‍රේණියේ තැපැල් කාර්යාලය මගින් පවුල් 13,300 කට, නිවාස 5,252 කට, රජයේ ආයතන, බැංකු සහ මූල්‍ය ආයතන,  පාසල් ඇතුළු ආයතන රැසකට  සෘජු තැපැල් සේවා ලබාදීමට නියමිත අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 12 ක් සහ උප තැපැල් කාර්යාල 92 ක් දැනට  ක්‍රියාත්මක වේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවාන්චිකුඩි I ශ්‍රේණියේ තැපැල් කාර්යාලය වසර 35 කට පසු මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉදිකෙරුණු පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වන අතර, මෙමගින් පවුල් 9,671 කට සෘජු තැපැල් සේවා ලබාදෙනු ලබයි. එහි පාලනය යටතේ පවතින උප තැපැල් කාර්යාල 07  මගින් තවත් පවුල් 3,821 කට සේවා සපයනු ලබයි. මෙම කාර්යාලය හා ඊට අනුබද්ධ උප තැපැල් කාර්යාල මගින් නිවාස 13,472 කට තැපැල් සේවා පහසුකම් සලසා ඇති අතර, රජයේ ආයතන 38 කට, හෝටල් 06 කට සහ කර්මාන්ත ශාලා 43 කට ද තැපැල් සේවා ලබාදේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල 21 ක් සහ උප තැපැල් කාර්යාල 66 ක් ක්‍රියාත්මක වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 වසරේ ගොඩනැගිලි අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කර තැපැල් කාර්යාල හා පාලන කාර්යාල 200 කට ආසන්න සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇත. 2026 වසරේ ද අත්‍යවශ්‍ය සංවර්ධන හා අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් එම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

මීට අමතරව, වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 588 ක්, CCTV පද්ධති සඳහා රුපියල් මිලියන 27 ක්, Desktop පරිගණක සඳහා රුපියල් මිලියන 74 ක්, Tablet පරිගණක සඳහා රුපියල් මිලියන 101 ක් සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර 657 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 31 ක් වෙන් කර ඇත. එසේම මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානය සඳහා රුපියල් මිලියන 24 ක් වැය කර මෙි වනවිට සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කර අවසන් කර ඇත.

මෙරට තැපැල් සේවාවෙි ඉතිහාසයේ කිසිදු කළක සිදු නොවූ ආකාරයේ අවධානයක් යොමුකරමින්  වත්මන් රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක මෙම සංවර්ධන වැඩසටහන් මගින් රට පුරා තැපැල් සේවාව වඩාත් කාර්යක්ෂම, නවීන සහ ජනතාවට සමීප රාජ්‍ය සේවාවක් බවට පත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.