Spread the love

නිමල් රාජපක්ෂ-

උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් රුපියල් මිලියන 230.64 ක වියදමින් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ සිදු කෙරිණි.

වෛද්‍ය නිලධාරී නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිලධාරීන් දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයන්ට පත් ව සිටි අතර, එම ගැටළුවට විසඳුමක් ලෙස කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලට මෙම නව වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇත.

මෙම නිල නිවාස සංකීර්ණය වෛද්‍ය නිලධාරීන් 48 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි පරිදි ඉදිකෙරෙන අතර, 2027 ජූලි මාසය වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට ද සැලසුම් කර ඇත.

මුල්ගල් තැබීමෙන් අනතුරුව රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩලය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් සමග විශේෂ සාකච්ඡාවක් ද  පවත්වන ලදි.

වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැති උත්සව සභාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 184 ක් උතුරු පළාත් සභාව මගින් වෙන් කර ඇති බවත්, කෙටි කාලයක් තුළ දෙවන අදියරක් අවසන් කරමින් සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

එමෙන්ම තවත් රුපියල් මිලියන 150 ක් පමණ වැය කරමින් රෝහලේ ඖෂධ ගබඩාවක් ඉදිකිරීමට ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුවන බවද මීට අමතරව පේදුරුතුඩුව, චාවකච්චේරි යන රෝහල් දෙකෙහි ද ඉදිරි දිනවල සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

උතුරු පළාතට සෞඛ්‍ය කාර්ය සහායකයින් 300 කට  පත්වීම් ලබාදීමට මෙන්ම  යාපනය ශික්ෂණ රෝහලට සහ යාපනයේ හෙද විදුහල් සෞඛ්‍ය කාර්ය සහායකයින් 50 ක් ලබාදීමට කටයුතු කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා අතරමග නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති රාශියක් නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කළ බවත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවූ බවද පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය සේවාව සඳහා ‍අත්‍යාවශ්‍ය අති නවීන වෛද්‍ය උපකරණය ලබාදීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට රජය මගින් ක්‍රියාවට නංවා ඇති බවද අවධාරණය කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ද උපදේශකත්වයෙන් උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිතා කරමින් මෙම ඉදිකිරීම් සිදු කරන අතර, රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමව ඉහළ නැංවීම තුළින් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම කටයුතු සිදු වේ.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan), කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහ උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්,  , උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් (Mrs. Thanuja Murugeson), උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ (Dr. V.P.S.D. Pathirana), කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ඇතූළු පිරිසක් එක්ව සිටියහ.