Spread the love

රජය විසින් අනුමත කරන ලද මිලට තම වී අස්වැන්න අලෙවි කිරීමට නොහැකිවීම නිසා තවදුරටත් ගැටලු වලට මුහුණ දී සිටින බව පොළොන්නරුවේ වී ගොවීන් පවසයි.

ඔවුන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, මෙම ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් වත්මන් රජයේ පැවැත්මට එය බලපෑ හැකි බවයි.

ගොවීන් පෙන්වා දෙන්නේ, තෙත් වී සඳහා රුපියල් 90ක් වැනි අඩු මිලක් ලැබෙන අතර රජය විසින් නියම කර ඇති මිලට වී මිලදී ගැනීමක් සිදු නොවන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් තමන් අසරණ වී ඇති බවත්, වියළි වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක මිලක් ලැබුණහොත් පමණක් තම ජීවන තත්ත්වය යහපත් කරගත හැකි බවත් ඔවුන් සඳහන් කළහ.

රජය හොඳ මිලක් නියම කළ බව පැවසුවද, ප්‍රායෝගිකව එම මිලට වී මිලදී නොගන්නා බවට ඔවුන් චෝදනා කළහ. මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා දේශපාලනඥයන් හෝ වගකිවයුත්තන් නොපැමිණීම පිළිබඳවද ඔවුන් සිය කනස්සල්ල පළ කළේය.

මහා වාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට තෙත් වී රුපියල් 102කට මිලදී ගැනීමට චක්‍රලේඛ නිකුත් කළද, ඒ සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ට තවමත් ලැබී නොමැති බව පැවසීය. රජය වී සඳහා හොඳ මිලක් පවතින බව ප්‍රකාශ කළත්, එය යථාර්ථයට බොහෝ දුරස් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.