නිමල් රාජපක්ෂ-
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි ව්යාප්තියට මූල්ය පහසුකම් සැපයීම වැළැක්වීම (AML/CFT/CPF) පිළිබඳ ශ්රී ලංකාවේ තෙවන අන්යෝන්ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය. මෙම ඇගයීම මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering – APG) විසින් මෙහෙයවනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යතුමිය, රටක මූල්ය පද්ධතියක ශක්තිමත්භාවය තීරණය වන්නේ එම පද්ධතිය තුළ ස්ථාපිත කර ඇති නීති සහ ආයතන මත පමණක් නොව, ඒවා ප්රායෝගික ලෙස කෙතරම් ඵලදායීව සහ කාර්යක්ෂමව ක්රියාත්මක වන්නේද, කෙතරම් වගවීමකින් යුතුව කටයුතු කරන්නේද සහ ඒවායේ අඛණ්ඩතාව කෙතරම් දුරට සුරැකෙන්නේද යන්න මත ද වන බව අවධාරණය කළා ය.
මූල්ය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව අත්කරගෙන ඇති ප්රගතිය ජාත්යන්තරය හමුවේ ප්රදර්ශනය කිරීමටත්, තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්ර හඳුනා ගැනීමටත්, ජාත්යන්තර ප්රමිතීන්ගෙන් අත්දැකීම් ගෙන තවදුරටත් ශක්තිමත් කිරීමටත් ශ්රී ලංකාවේ තෙවන අන්යෝන්ය ඇගයීම වැදගත් අවස්ථාවක් සලසන බව ද අග්රාමාත්යතුමිය මෙහිදී සඳහන් කළාය.
දූෂණය හේතුවෙන් රාජ්ය ආයතන කෙරෙහි, විශේෂයෙන්ම මූල්ය ආයතන කෙරෙහි, මහජන විශ්වාසය පළුදු වීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරන බව ද අග්රාමාත්යතුමිය අවධාරණය කළාය. මූල්ය පද්ධතියේ ශක්තිමත්භාවය ආරක්ෂා කිරීම, මහජන විශ්වාසය යළි ගොඩනැඟීම සහ රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය, වගවීම, ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණය සහ ඵලදායී නීති ක්රියාත්මක කිරීම තුළින් මෙම අභියෝගවලට මුහුණ දීම අත්යවශ්ය බව ද අග්රාමාත්යතුමිය පෙන්වා දුන්නාය.
ශ්රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි සැපයීම සඳහා මූල්ය පහසුකම් සැපයීම වැළැක්වීම ශක්තිමත් කිරීම, මතුවෙමින් පවතින අවදානම් තත්ත්වලට විසඳුම් ලබා දීම සහ ජාත්යන්තර හවුල්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ඇගයීම් කණ්ඩායම සහ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද අග්රාමාත්යතුමිය යළි අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා, ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයා, මූල්ය බුද්ධි ඒකකයේ සාමාජිකයන් සහ ඇගයීම් කණ්ඩායමේ සාමාජිකයන් සහභාගී වූහ.
