Spread the love

නිමල් රාජපක්ෂ-

දක්ෂ කලාකරුවන් මෙනම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සෞන්දර්යය අධ්‍යාපනය ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දකුණු පළාතේ දූ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සැප්තැම්බර් 29 වන දා අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළේ, අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතික පත්‍ර එකතු කිරීම පමණක් නොව, ජීවත්වන සමාජය තේරුම්ගෙන එහි යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී හා වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම බවයි. සෞන්දර්ය අධ්‍යාපනය මඟින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකාගේ වේදනාව හඳුනාගැනීම සහ විවිධත්වයට ගරුකිරීම වැනි මානවීය ගුණාංග වර්ධනය වන බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

එමෙන්ම, සෞන්දර්ය අධ්‍යාපනයේ මානවීය වටිනාකමට අමතරව එහි ආර්ථික වැදගත්කමද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස් ආර්ථිකයට සෘජුව සම්බන්ධ කළ හැකි නව ක්ෂේත්‍ර රැසක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළාය. ඩිජිටල් කලාව, නව මාධ්‍ය, චිත්‍රපට, සංගීත තාක්ෂණය සහ නිර්මාණශීලී කර්මාන්ත (Creative Industries) වැනි නව ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය පුරා නිර්මාණය වන ආර්ථික හා වෘත්තීය අවස්ථාවලට මෙරට දරුවන් සූදානම් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

තවද ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ වසර 13ක විෂයමාලා රාමුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංකල්ප පත්‍රිකාව සහ ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා සැප්තැම්බර් 28 වන දා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඇය අනාවරණය කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,


“අපි මේ ගමන් කරමින් ඉන්නේ පරිවර්තනීය යුගයක. අපේ රට සෑම අංශයකින්ම පිබිදීමකට සහ වෙනසකට ලක්වෙමින් තිබෙනවා. ආර්ථිකය වගේම විවිධ ක්ෂේත්‍රවලින් අපේ මිනිසුන් ඉදිරියට එමින් සිටිනවා. පළමු වතාවට ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් කිරීම සඳහා අපේ රටෙන් චිත්‍රපටයක් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම ආසියානු ක්‍රීඩා උළෙලේදී රුමේෂ් තරංග රන් පදක්කමක් දිනාගත්තා. මෙවැනි ජයග්‍රහණ රැසක් සමඟ රට ඉදිරියට යන මේ මොහොතේ, බටදූව රතනජෝති සෞන්දර්ය විද්‍යාලයත් ලෝක මට්ටමේ ජයග්‍රහණ අත්කරගත හැකි අතිදක්ෂයන් බිහිකරන, ජයග්‍රහණ රැසක ආරම්භයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ලෝකය අපට විවෘතයි. අවස්ථා අපට විවෘත වෙමින් තිබෙනවා. ජයග්‍රහණ අපට පෙනෙන දුරින් තිබෙනවා. ඒ නිසා මේ ආරම්භය ඉතාමත් වැදගත්. මේ ආරම්භය තුළින් ඉතිහාසය ඉගෙනගන්නවා පමණක් නොව, ඉතිහාසය අලුතින් ලියන්න ඔබ සියලුදෙනාට හැකි වේවායි මා විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේ, වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාවලිය තුළ වැඩිම බර තබා ඇත්තේ අධ්‍යාපනයට බවත්, සමාජය සහ පරිසරය පිළිබඳ සංවේදී මානව සම්පතක් ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණ බවත්ය.