Spread the love

නිමල් රාජපක්ෂ –

​ලාංකික ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළේ නව දොරටු විවර කිරීමට රාජ්‍ය ආයතන රැසක් ඒකාබද්ධ කෙරෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ ශ්‍රමිකයා කේන්ද්‍ර කරගත් සුරක්ෂිත ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද දින පැවැති අවස්ථාාවේදීය.

​මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින නව රැකියා අවස්ථා හඳුනාගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා ගෝලීය ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීමටයි. එමෙන්ම පුහුණුව, සහතිකකරණය, සෞඛ්‍ය පරීක්ෂණ, බඳවා ගැනීම් සහ ශ්‍රමික ආරක්ෂාව යන සියලු අංශ වඩාත් විධිමත් කරමින් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

​මෙම ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය (SLFEA), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ලංකා-ජර්මන් කාර්මික පුහුණු ආයතනය (GTEC), ජාතික තරුණ සේවා සභාව (NYSC), ශ්‍රී ලංකා හෙද සභාව (SLNC) සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම ප්‍රධාන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් එක්ව සිටියහ.

​මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අවධාරණය කළේ විදේශ රැකියා ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට මෙන්ම දහස් සංඛ්‍යාත පවුල්වලට ශක්තියක් වන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවයි. එබැවින් සංක්‍රමණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව සිදු කරමින්, මෙරට ශ්‍රමිකයින්ට විදේශයන්හිදී වඩාත් සුරක්ෂිත, ගරුත්වයක් ඇති සහ ඉහළ නිපුණතාවන්ගෙන් යුත් රැකියා අවස්ථා උදාකර දීම රජයේ මූලික අරමුණ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.