Spread the love

නිමල් රාජපක්ෂ-

සෑම වසරකම ඔක්තෝබර් 15 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය දෘශ්‍යාබාධ සහිත ප්‍රජාව සමඟ එක්ව සිටීමටත්, ඔවුන් වෙත සහයෝගය පළ කිරීමටත් අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත්වෙමි.

සුදු සැරයටිය යනු දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ට හුදෙක් ගමන් කිරීම සඳහා උපකාරී වන ආධාරකයක් පමණක් නොව, ඔවුන්ගේ ස්වාධීනත්වය, අභිමානය සහ සමාන අවස්ථා වෙනුවෙන් පෙනී සිටින සංකේතයක් ද වේ.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන බොහෝ අභියෝග ඔවුන්ගේ දෘශ්‍යාබාධිත තත්ත්වය නිසාම ඇතිවන ඒවා නොවේ. පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් නොමැති වීම, ප්‍රවාහන පහසුකම් සම්බන්ධ ගැටලු, තොරතුරු ලබාගැනීමේදී ඇතිවන බාධා, රැකියා අවස්ථා සීමා වීම සහ සමාජ ආකල්ප ඒ අතර ප්‍රධාන වේ. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා බාධාවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම සමාජ ආකල්ප වෙනස් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම සමානව ප්‍රවේශ විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් වගකීමක් ලෙස අපි සලකමු. සියලු ක්ෂේත්‍රවලදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වීම සමාජ සාධාරණත්වය තහවුරු කිරීමේ මූලික පියවරකි.

පොදු ස්ථාන හා මහජන අවකාශ වෙත ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේදී මතුවන ගැටලු සහ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ ගැටලු රට හමුවේ පවතින ප්‍රධාන අභියෝග අතර වේ. මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම, පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේදී සාම්ප්‍රදායික බස් රථ වෙනුවට පහත් පතුලක් සහිත බස් රථ ප්‍රචලිත කිරීමේ සැලසුමක් ද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සහ ඔවුන් රැකබලා ගැනීම ඉලක්ක කරගත් වැඩසටහන් ද ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වෙන් කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන ද පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළ නංවා ඇත.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් ඇතුළු සියලු ආබාධ සහිත පුද්ගලයන්ට සෙසු පුරවැසියන් හා සමානව තම හැකියාවන් වර්ධනය කරගනිමින් රටේ සංවර්ධනයට දායක වීම සඳහා අවශ්‍ය අවස්ථා සහ පහසුකම් හිමිවිය යුතුය. ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනාගෙන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, හැකියාවන්ට නිසි වටිනාකමක් ලබාදෙන සමාජයක් ගොඩනැඟීම අප සැමගේ වගකීමකි.

මෙවර ජාත්‍යන්තර සුදු සැරයටි දිනයේදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා අභිමානය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙමින්, ඔවුන්ට ස්වාධීනව හා ගෞරවාන්විතව ජීවත් වීමට අවශ්‍ය පහසුකම් සහ සමාන අවස්ථා සහිත, නිර්බාධිත සමාජ ජීවිතයක් හා යුක්තිසහගත සම ප්‍රවේශයක් සහිත සමාජයක් ගොඩනැඟීම සඳහා එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.