Spread the love

නිමල් රාජපක්ෂ 

රාජ්‍ය ආයතනයක් වන ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාළ ඉදිරි පියවරයන් සඳහා අපේක්ෂිත කාලරාමුව සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය,

ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) යනු රාජ්‍ය නොවන ආයතනයක් නෙවෙයි, රජයටම සම්බන්ධ ආයතනයක්. ඒ නිසා එය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සම්බන්ධ නීති රාමුවට අදාළ වන්නේ නැහැ. ඒ අනුව, රජයේ ආයතනයක් ලෙස මෙම ආයතනය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කරන්නේ කෙසේද යන ක්‍රියාවලිය පිළිබඳවයි අප සලකා බලන්නේ.

විශ්වවිද්‍යාලයකට කිසියම් ආයතනයක් අනුබද්ධ කිරීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මෙන්ම, අනුබද්ධ කිරීමේදී දැනට සිටින කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරගත යුතු ආකාරය පිළිබඳවත් ජාතික සමාජ සංවර්ධන ආයතනය සම්බන්ධ ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ දක්වා තිබෙනවා.

2025 මාර්තු මස 14 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී NISD ආයතනය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුණා. ඉන් අනතුරුව, 2026 සැප්තැම්බර් 23 වැනි දින පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ රැස්වීමේදී මෙම ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ කිරීමේ යෝජනාව ඉදිරිපත් වුණා. ඒ අනුව සිදු කළ ශක්‍යතා අධ්‍යයනයෙන් පසු, අදාළ යෝජනාවලිය පරිදි අනුමත කිරීමේ ක්‍රියාවලිය කැලණිය විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කළ හැකි බව කොමිෂන් සභාව අමාත්‍යාංශය වෙත දන්වා තිබෙනවා.

මේවා අධ්‍යයන කටයුතු හා සම්බන්ධ කරුණු බැවින්, ඊට අදාළ විශ්වවිද්‍යාල මට්ටමේ තීරණ ගනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාථන සභාව (Senate) සහ අදාළ පීඨ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විශ්වවිද්‍යාලය එම අභ්‍යන්තර සාකච්ඡා අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසුව, මීළඟ පියවරයන් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා. යැයි පැවසුවාය.