නිමල් රාජපක්ෂ
“.
ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව පුළුල් කරමින් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමත් අරමුණු කරගනිමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon King Coconut Village 250” ජාතික වැඩසටහනට අදාළව 2026 වසර තුළ ස්ථාපිත කිරීමට නියමිත තැඹිලි ගම්මාන 75හි කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
ලෝක පොල් දිනයට සමගාමීව 2026 සැප්තැම්බර් මස 02 දින ආරම්භ කරන ලද මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම සහ තැඹිලි හා ඒ ආශ්රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීමයි.
ඒ අනුව, වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී 2026 වසරේදී ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ මේ වන විට තැඹිලි පැළ 31,128ක් රෝපණය කර ඇති අතර, පවතින තැඹිලි ගස් 6,163ක් පුනරුත්ථාපනය කර තිබේ. තැඹිලි ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් පවතින තැඹිලි ගස් පුනරුත්ථාපනය කිරීම සඳහා එක් ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම නව වගාව සඳහා එක් තැඹිලි පැළයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 750ක් වුවද, ගොවීන්ට එම පැළයක් රුපියල් 150ක සහනදායී මිලකට ලබාදීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව, තැඹිලි වගාව හා කළමනාකරණය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් 45ක් පවත්වා ඇත. තවද, තැඹිලි වගාකරුවන්ගේ ඉඩම් 2,544කට අදාළ තොරතුරු ඇතුළත් තැඹිලි වගා දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.
මෙම ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කළුතර, පුත්තලම, මාතර, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මාතලේ, ගාල්ල, මඩකලපුව, බදුල්ල, මොණරාගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 18 ආවරණය වන පරිදි තැඹිලි ගම්මාන 75ක් ස්ථාපිත කර තිබේ.
“
