.
නිමල් රාජපක්ෂ -.
රටේ මිලියන විසි දෙකක ජනතා ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ ‘මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහන’ සම්බන්ධයෙන් ක්ෂේත්රයට අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2025.04.02 වන දින වත්තල පිහිටි ‘ටොයෝටා ලංකා’ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීයි .
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒකාබද්ධව සංවිධානය කෙරිණ.
රටේ ජනගහණයේ වර්ධනයත් සමග ඉහළ යන රිය අනතුරු පාලනය මේ වනවිට අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇත. මෙයට පිළියම් වශයෙන් රජය “අනතුරු නිවාරණ වැඩසටහන” ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. සුරක්ෂිත රිය ධාවනයක් උදෙසා ඊට අදාළ සියළු පාර්ශ්වයන්ගේ ආකල්පමය වර්ධනයක් අපේක්ෂාවෙන් ප්‍රායෝගික වැඩසටහන් මගින් දැනුම්වත් කර අනතුරු අවම කිරීම මෙහි මූලික පරමාර්ථය යි.
රටේ මිලියන විසි දෙකක ජනතා ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කර ගැනීමට මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ. රියැදුරු, මගී, වාහන සහ මාර්ග කළමනාකරණය මගින් නීතිය හා දඬුවම් පැමිණවීමෙන් ඔබ්බට ගොස් ජීවිත හා දේපොළ සුරක්ෂිත කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇති බව සඳහන් කළ හැකි බවද මෙහිදි ප්‍රකාශ කළේය..
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පොලිස් රථවාහන කොට්ඨාශ භාර ස්ථානාධිපතිවරු, රියැදුරු පුහුණු උපදේශකවරු ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක නියෝජිතයෝ ද එක්ව සිටියහ.
