Spread the love

නිමල් රාජපක්ෂ-

බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC)  සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යපෘති ක්‍රියාත්මක වේ.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම් සිදු කෙරේ.  ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් ඒ-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීම් ආරම්භ වන අතර මෙහි විශාල ජෙට් ඒ-1 ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 30,000 බැගින්) මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 15,000 බැගින්) සහ ඝන මීටර් 2,000ක වන අතිරේක ටැංකියක් ඇතුළත් වේ.  මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපැයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරේ. මෙම ව්‍යාපෘතිය මාස 30කින් අවසන් කිරීමට නියමිතය.

මේ අතර, ඛනිජ තෙල් කර්මාන්තයෙහි ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම් අද ආරම්භ කළේය. මෙය නිම කිරීමෙන් පසු ඝන මීටර් 15,000ක ටැංකි 02ක් සහ ඝන මීටර් 10,000ක ටැංකියකින් යුතුව  ටැංකි තුනක පද්ධතියක් මඟින් ඝන මීටර් 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇත. එමඟින් පර්යන්තයේ ඛනිජ තෙල් ගබඩා හැකියාවන් තවදුරටත් වැඩිදියුණු වන අතර රටේ ඛනිජ තෙල් යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට එයින්  සහාය ලැබේ. මෙම ව්‍යාපෘතිය මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවකින් යුක්ත වන අතර, එය 2028 අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරමින්, අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ටැංකි ඉදිකෙරෙමින් පවතී. මෙම අතිරේක ගබඩා ධාරිතාව මගින් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීම, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සහ රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන නිෂ්පාදන විශ්වාසනීයව සහ බාධාවකින් තොරව බෙදා හැරීමට සහාය වීම සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක,

අපි අද ඉන්නේ බලශක්ති සංක්‍රාන්ති යුගයක. ලෝකය වේගයෙන් පිරිසිදු බලශක්ති භාවිතය කෙරෙහි යොමු වෙමින් සිටිනවා. ඒ සඳහා විදුලි වාහන භාවිතය ඉතා වැදගත්. අපේ රටත් දැන් ඒ කෙරෙහි යොමු වෙමින් සිටිනවා. සූර්ය බලශක්ති භාවිතයත් ඒ සඳහා වැදගත් වෙනවා. 2029 මෙගාවොට් 1200 විදුලි ධාරිතාවයක් සූර්ය බලශක්ති මගින් ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපෙරොත්තු වෙනවා.  අප රටක් ලෙස ඉන්ධන මිල පාලනය වගේම ඉන්ධන පරිභෝජනය පාලනය කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. එහි විශාල වගකීමක් ජනතාවටත් තිබෙනවා. විශේෂයෙන්ම බලශක්ති පරිභෝජන රටාව වෙනස් කරගැනීමට කටයුතු කිරීම වැදගත්. එහිදි  වැඩි බලශක්ති ඉල්ලුමක් ඇති අවස්ථා මගහැර විදුලි භාවිතයට යොමු වීම, ඉන්ධන පිරිමැසුමක් සහිත වාහන විශේෂයෙන්ම විදුලි වාහන භාවිතය කෙරෙහි යොමු වීම තුළින් මේ බලශක්ති සුරක්ෂිතතාවයට විශාල සහයක් ලැබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා

මැද පෙරදිග යුද්ධය නිසා අප විශාල අභියෝගයකට මුහුණ දුන්නා. නමුත් ජනාධිපතිවරයා මැදිහත් වී  ජනතාවට සහන ලබාදී තත්ත්වය ඉතා හොඳින් කළමණාකරනය කළා. ඒ නිසා ලෝක වෙළදපොලේ ඩීසල් මිල සියට 91න් වැඩි වෙද්දී අප රට තුළ වැඩි කර තිබෙන්නේ සියයට 39.5න් පමණයි.  පෙට්‍රල් මිල ලෝක වෙළදපොලේ සියයට 80න් වැඩි වෙද්දී අපේ රටේ  වැඩිකර තිබෙන්නේ සියයට41න් පමණයි. මේ ආකාරයට තෙල් අඩු මිලට ලබාදී තිබියදීත් සංස්ථාව මේ වසරේ බිලියන 28ක් ලාභ ලබා තිබෙනවා. අප පසුගිය වසරේදිත් රුපියල් බිලියන 36ක ලාභයක් ලැබුවා. මෙතරම් ලාභ තිබියදී ඉන්ධන මිල අඩු නොකරන්නේ ඇයිද කියලා ගැටලුවක් මතු වෙන්න පුලුවන්.

එහෙත් අප ඒ  ලාභය යොදා ගනිමින් ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති  රැසක් ආරම්භ කර තිබෙනවා. ඉන්ධන ගබඩා ධාරිතාවය වැඩි කිරිම සඳහා අතහැර දමා තිබූ ටැංකි හයක් ඉදිකිරීම ඇතුළුව ටැංකි 11ක ධාරිතාවයක් එකතු කිරිම, අවුරුදු අනූවකට වඩා පැරණිඅපේ තෙල් පිරවුම් අංශය නවීකරණය කර  මුතුරාජවල නව ටැංකි පද්ධතියක් ඉදිකිරිම,  වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගොඩබෑමට  නව නල දෙකක් එළීම, කටුනායක දක්වා ජෙට් A-1 නව නළ මාර්ගයක් එලීම ඇතුළු  නළ පද්ධතිය විධිමත් කිරිම සහ නව නළ මහාර්ග එළිම, ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ ලාභය යොදා ගනිමින් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා එහි ප්‍රතිලාභය අපි නැවත ජනතාවට ලබා දී තිබෙනවා.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන,  බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, විදෙස් තානාපතිවරුද, බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, සිනොපෙක් ආයතනයේ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.