Spread the love

මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා. යැයි ඩයනා ගමගේ මහත්මිය අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවමින් ප්‍රකාශ කළාය.
රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කළේය.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ,

“ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.”

“මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.”

“ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.”

“මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි”

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ අධිකරණමය ක්‍රියාමාර්ගය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.