Spread the love

නිමල් රාජපක්ෂ-

නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස හිමිකම තහවුරු කිරීමේ අරමුණින් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ රජයේ මූල්‍යාධාර මත ඉදිකළ නව නිවාස දෙකක් නිල වශයෙන් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ සිදු කෙරිණි.

ඒ අනුව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කෙලෙස්ගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඒ. ගුණවර්ධන මහතා වෙනුවෙන් ඉදිකළ නව නිවස සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඹුක ග්‍රාම නිලධාරි වසමේ පදිංචි තරංගා ප්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස මෙලෙස ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කය සඳහා නිවාස 685ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නිවාස 23ක් මෙම වැඩසටහනට අනුව ඉදිකෙරෙන අතර,ඊයේ දින වැඩ අවසන් කර භාරදෙනු ලැබුවේ ඉන් දෙවන නිවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් අදියර කිහිපයක් යටතේ ලබාදීමට රජය කටයුතු කරයි. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම සඳහා මේ වන විට තෝරාගෙන ඇති පවුල් 365ක් වෙනුවෙන් රුපියල් මිලියන 365ක මූල්‍යාධාර ලබාදී ඇති අතර, එම නිවාසවල ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සදහා මේ වසරේදීම නිවසක සිහිනය සැබෑ කරමින් සෑම පවුලකටම නිවසක අයිතිය ලබාදීමට රජය කටයුතු කරන බවයි.

එමෙන්ම, ඉදිකිරීම් අවසන් කර ගත නොහැකිව සිටින, නගර සභා බල ප්‍රදේශවල ඉඩකඩ සීමාවීම හේතුවෙන් නිවසක සිහිනය අහිමිව සිටින සහ කුලී නිවාසවල වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාවගේ ද නිවාස සිහිනය මල්ඵල ගැන්වීමට රජය ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙන්, රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංග, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් ගයානී ගීතිකා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.