නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ “තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026” (1st National Research Symposium on Youth Development – NRSYD) අමතමින් සැප්තැම්බර් 16 වන දින රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
”ස්වශක්තීන් මත පදනම්ව සමාජීය පරිවර්තනයක නියමුවන් ලෙස, අයිතිවාසිකම් උරුම කරගත් තාරුණ්‍යයක්” (Young People as Right Holders and Change-Makers: Asset-based Pathways for Social Transformation) යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම සිදු කෙරේ.
එම ක්ෂේත්‍ර අතරට තරුණ සබලගැන්වීම සහ නායකත්වය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධනය, සෞඛ්‍යය, මානසික සුවතාවය සහ පෝෂණය, තරුණ ව්‍යවසායකත්වය සහ ආර්ථික සහභාගීත්වය, තාක්ෂණය, ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය, සුළුතරභාවය, සමාජ ඒකාබද්ධතාවය සහ නීතියේ ආධිපත්‍යය, තරුණ සංක්‍රමණය සහ අන්තර්ජාතික සබඳතා මෙන්ම කලාව, සංස්කෘතිය සහ නිර්මාණාත්මක ප්රකාශනය යන අංශ ඇතුළත් ය.
සම්මන්ත්‍රණයේ නිල ප්රකාශනය අග්‍රාමාත්‍යතුමිය ඇතුළු ප්‍රධාන ආරාධිතයන් වෙත පිළිගැන්වීම තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.එච්.යූ. අරුණ බණ්ඩාර මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය,
”2014 වසරේදී ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස් කළත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. එම නිසා වර්තමාන තාක්ෂණික, ආර්ථික හා රැකියා වෙළඳපොළ වෙනස්කම්වලට ගැලපෙන පරිදි සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා.
රජයේ පොදු ආයෝජන වැඩසටහන යටතේ තරුණ හා ක්‍රීඩා ක්ෂේත්රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145 ක මුදලක් රජය වෙන්කර තිබෙනවා. මෙම සම්මන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදල හොඳ ආරම්භයක්. එයින් පැහැදිලි වන්නේ සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව අප කොතරම් බරපතල ලෙස සිතනවාද යන්නයි.
තාක්ෂණික දියුණුව හා ඩිජිටල්කරණය හමුවේ තරුණයින්ට අධ්‍යයන දැනුම පමණක් ලබා දීම ප්‍රමාණවත් නැහැ. දැනුම සමඟ ප්‍රායෝගික, තාක්ෂණික සහ වෘත්තීය නිපුණතා ලබාදීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා පවතින අධ්‍යාපන ක්‍රමවේද තුළ විෂය නිර්දේශයන් නව තාක්ෂණය සහ ගෝලීය ඉල්ලුම අනුව යාවත්කාලීන විය යුතුයි.
.
මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය ලබන වසරේදී ජාත්‍යන්තර සමුළුවක් ලෙස පැවැත්වීමට යෝජනා වී ඇති බවත්, එමගින් ශ්‍රී ලාංකේය පර්යේෂකයන්ට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්බන්ධ වීමට විශාල අවස්ථාවක් හිමිවන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පර්යේෂකයින්, විද්වතුන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
