නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (SMEs) ඵලදායිතාව, තරඟකාරීත්වය සහ තිරසාරභාවය ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ (4I ව්‍යාපෘතිය) දෙවන අදියරේ සමාරම්භක උත්සවය අද (25) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අග්‍රා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව, Integrate, Innovation, Implementation & Improvement (4I ) යන සංකල්ප මත පදනම් වූ 4I ව්‍යාපෘතියේ පළමු අදියර දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලද අතර එහි දෙවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම්ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පන්සිය දෙනෙක් වෙත වෘත්තීය උපදේශන සේවා, ඵලදායිතා වැඩිදියුණු කිරීමේ සහාය, ව්‍යාපාර සංවර්ධන මඟපෙන්වීම් සහ ධාරිතා සංවර්ධන අවස්ථා ලබාදීමට කටයුතු කරයි.
තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ව්‍යාපාරික කාර්යසාධනය ඉහළ නැංවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීම සහ ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන අතර ඵලදායී, තරඟකාරී සහ ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව මාවතකට යොමු කිරීම මෙම වැඩසටහනේ ප්රමුඛ අපේක්ෂාව වෙයි.
මෙරට ක්‍රියාත්මක බොහෝ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පසුබිමක ව්‍යාපාරයක් ආරම්භකර කලක් තිස්සේ එහි නියලෙමින් එහි ඉදිරි වර්ධනය අපේක්ෂා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තව දුරටත් ඉදිරියට ගෙන යාම මෙම 4I ව්‍යාපෘතියේ විශේෂත්වයයි. රජය විසින් 2027 වසරේ සිට අත්‍යවශ්‍ය ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම 4I ව්‍යාපෘතිය සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) වෙතින් තාක්ෂණික සහයෝගය ලබාගැනීමද සැලසුම් කර තිබෙයි.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරමින් ජාතික නිෂ්පාදනය වර්ධනය කර අපනයන ආදායම ඉහළට ගෙන ඒම රජයේ අරමුණ බවත් ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්රය පොදු ප්‍රතිපත්තියක් තුල කටයුතු කරමින් සිටින බව පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් අවදානම් ගැනීම, නවීකරණය සමග ඉදිරියට යාම හා සම්පත් කළමනාකරණ දක්ෂතාවය ව්‍යවසායකයකු තුළ තිබිය යුතු අනිවාර්ය අංග බව පැවසුවාය. එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලංකාවේ ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන බවත් මේ වන විට ශ්‍රම බලකායෙන් 3.2% වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට 10% ක් දක්වා වැඩි කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ ඉලක්කය බවද තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුටත් ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මුදිතා මල්කාන්ති, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න, ගම්පහ දිසුත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අධ්යක්ෂ මොහොමඩ් සෆ්රාස්, දිස්ත්‍රික් ලේකම්වරු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, තරුණ ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
