නිමල් රාජපක්ෂ
පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන් මෙන්ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට වැඩි කැමැත්තක් නොදක්වන, විවිධ සහජ හැකියාවන් හා දක්ෂතාවලින් යුත් දරු දැරියන් හඳුනාගෙන, ඔවුන්ගේ රුචිකත්වයට ගැළපෙන වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අවස්ථා වෙත යොමු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ සමාජ සවිබලගැන්වීමේ හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ දිවයිනේ සෑම පළාතක්ම හා දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ගමින් ගමට හා ගෙයින් ගෙට ගොස් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය අවශ්‍ය තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් සුදුසු පාඨමාලා හා පුහුණු අවස්ථා වෙත සෘජුවම යොමු කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙහි ප්‍රධාන දීප ව්‍යාප්ත වැඩසටහන 2026 නොවැම්බර් 21 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා දිවයින පුරා එකවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශ දෙක අතර සහයෝගීතාව විධිමත් කිරීම සඳහා අවබෝධතා/සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම අද (05) ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මෙහිදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දරුවන් සඳහා පවතින වෘත්තීය අධ්‍යාපන අවස්ථා මෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මගින් ලබාදෙන මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහන මගින් වෘත්තීය අධ්‍යාපනය විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබූ පිරිස සඳහා පමණක් වූ විකල්පයක් යන සම්ප්‍රදායික මතය වෙනස් කරමින්, සෑම තරුණයෙකුගේම සහජ දක්ෂතාව හඳුනාගෙන එය වෘත්තීය නිපුණතාවක් බවට පත් කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය, පුහුණුව හා අවස්ථා සමීප කරවීම අරමුණු කරයි.
මෙම ජාතික වැඩපිළිවෙළ හරහා රැකියා සොයන තරුණ පරපුරක් වෙනුවට දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතා සහිත, රැකියා නිර්මාණය කළ හැකි තරුණ පරපුරක් බිහිකිරීමටත් රටේ ආර්ථික සංවර්ධනය සඳහා දක්ෂ මානව සම්පතක් ගොඩනැගීමටත් අපේක්ෂා කෙරේ.
