නිමල් රාජපක්ෂ-
ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
බලංගොඩ විද්‍යාලෝක විද්යාලයේඊයේ පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
විද්‍යාලොක විද්‍යාලයේ දරුවන්ගේ නවෝත්පාදන සහ කුසලතා ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යතුමිය ඔවුන්ගේ දක්ශතා ඇගයීමට ලක් කළාය. අනතුරුව විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ද සිදු කෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අපේ රටේ පළමු අගමැතිනිය අධ්‍යාපනය ලැබූ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන මේ සුවිශේෂී උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.
මම මේ විද්‍යාලයේ දූ දරුවන්ගේ අපූර්ව නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ප්‍රදර්ශනය නැරඹුවා. එහිදී මා දැක්කා හුදෙක් පෙළපොතට පමණක් සීමා නොවී, ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටිනවා කියලා.
කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටිනවා. මේ යටතේ, එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අප අවසන් කරමින් පවතිනවා.
පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය සහ තාක්ෂණික පුහුණුවක් ලබාදීම අපේ අනිවාර්ය ඉලක්කයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම, වෘත්තීය අධ්‍යාපනයත් එක හා සමාන ගෞරවයක් සහ වටිනාකමක් සහිත ක්ෂේත්රයක් බවට අප පරිවර්තනය කරනවා.
අවසාන වශයෙන් මේ ප්‍රදර්ශනය සංවිධානය කළ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, මේ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ ආදරණීය දූ දරුවන්ට සහ මව්පියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, බලංගොඩ නගාරාධිපතිතුමන් සහ නාගරික මන්ත්‍රීවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, දුදරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
