Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීමේ අරමුණින් සංශෝධනය කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළාය.

එම පනත ක්‍රියාත්මක කිරීමේදී පැනනැඟී ඇති නෛතික හා අර්ථ නිරූපණ ගැටලු, සිංහල හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අනුකූලතා ගැටලු, දූෂණ විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය, කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණයි.

මෙමඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයන් සඳහා අවශ්‍ය නෛතික පදනම ශක්තිමත් කිරීමටත්, පනත වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කෙරේ.