2026.11.18
නිමල් රාජපක්ෂ
පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.
ලේකම්වරයා මේ අදහස් පලකලේ දිට්වා ව්‍යසනයෙන් මෙරට මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් සදහා සිදුවූ හානියෙන් පසු ක්‍රියාත්මක කල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබද දැන්වත් කිරීම සදහා අද දින (2026.11.18) කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි. මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවත්විණ.
ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ;
‘2025 වසරේ නොවැම්බර් මස ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් මෙරට මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියටත් ඒ හා බැඳුණු පාලම්වලටත් බරපතල හානි සිදුවුණා. මෙම ව්‍යසනයෙන් දිස්ත්‍රික්ක හයකට දැඩි බලපෑම් සිද්දවුණා. ඒ අතර මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල මාර්ග හා පාලම්වලට බරපතල හානි සිදුවුණා.
A හා B ශ්‍රේණියේ මාර්ගවලට වූ බලපෑමෙන් ස්ථාන 820 කට හානි සිදුවුණා. මාසයකට අඩු කෙටි කාලයක් තුල ස්ථාන තුනක් හැර අන් සියල්ල යථාවත් කර කෙටි කාලීන විසඳුම් ලබාදීමට කටයුතු කලා. දැඩිලෙස විනාශයට ලක්වූ ස්ථාන කෙටි, මධ්‍ය හා දිගුකාලීන වශයෙන් ප්‍රතිසංස්කරණයන්ට ලක් කෙරෙනවා.
අමාත්‍යංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ස්ථාන 330 ක ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරි මාසයේ ආරම්භ කලා. එම ආරම්භ කල ව්‍යාපෘති මේවනවිට 75% ක ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. ඉතිරිව පවතින ස්ථාන 490 ක හානිවීම් යථාවත් කිරීමට කඩිනම් පියවර ගෙන තිබෙනවා. ඊට අදාල කේෂේත්‍ර පරීක්ෂාවන්, මැනුම් කටයුතු, අධ්‍යයන ක්‍රියාවලි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා හා නිර්දේශයන් ලබාගනිමින් නිර්මාණ කටයුතු සිදුකරමින් කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් අනුව කටයුතු කරනවා. එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මූලික කරගත් නිලධාරීන් සියයකින් සැදුම්ලත් කණ්ඩායමකින් සමස්ත ක්‍රියාවලිය මෙහෙයවනු ලබනවා. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයන්හි දායකත්වය ලබා ගන්නවා. ඒ අනුව මෙම ස්ථාන 490 ක ප්‍රතිසංස්කරණ කටයුතු කොන්ත්‍රාත් පැකේජ 120 කට වෙන්කර විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක කරනවා. එහිදී නැවත ඇතිවිය හැකි ආපදා තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ලෙස නිර්මාණ කටයුතු සිදුකිරීමත්, ඒ ඒ ප්‍රදේශවලට ආවේණික දේශගුණික බලපෑම්වලින් ආරක්ෂා කරගැනීමට තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීමත් විශේෂ කොට සලකනවා. මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා මධ්‍යම රජයේ අරමුදල්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලේ (JICA) ආධාර සහ ප්‍රදාන ලබා ගැනෙනවා.
A හා B ශ්‍රේණියේ මාර්ගවලට සිදුවූ හානිවලට අමතරව පාලම් 41 කට හානි සිදුවුණා. මෙම පාලම් ස්ථිර ඉදිකිරීම් ලෙස ක්‍රියාත්මක කිරීම් යටතේ චීන රජයේ ආධාර මත පාලම් 14 ක්, ඉන්දියානු රජයේ මූල්‍යාධාර මත පාලම් 13 ක් සහ ඉතිරි පාලම් ව්‍යාපෘති මධ්‍යම රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වෙනවා.
දුම්රිය මාර්ග පද්ධතියට විශාල හානි සිදුවුණා. රඹුක්කන – බදුල්ල කඳු මාර්ගයන්ට දැඩි ලෙස හානි සිදුවුණා. කොළඹ – පේරාදෙණිය දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ක් හානියට පත්වුණා. ස්ථාන හයක් හැර ඉතිරි කොටස් මාස තුනක් වැනි කෙටි කාලයකදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකලා. කඩිගමුව ප්‍රදේශයේ නාය සක්‍රිය වී තිබෙනවා. එම තත්ත්වය යථාවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විදියට මෙම ප්‍රතිසංස්කරණ කාර්යයන් විධිමත්ව හා වේගවත් කිරීමට ‘ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්’ තුලින් සේවාවන් මෙහෙයවා උසස් තත්ත්වයෙන් යුතු මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමටත් පැවති තත්ත්වයට වඩා ප්‍රමිතිගතව ඉදිකිරීමත් අපේක්ෂා කරනවා. මෙම කඩිනම් වැඩපිළිවෙල සඳහා අමතර කාර්යමණ්ඩල, කාර්යාල සහ යටිතල පහසුකම්, උපදේශන සේවාවන් ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට මූලිකව රුපියල් බිලියන 130 ක මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට නියමිතයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාරනායක, එහි අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු එච්.එච්. අනුරාධ හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධන ඉංජිනේරු (මාර්ග හා පාලම්) ප්‍රියන්ත දීගල සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණික ඉංජිනේරු අංශයේ අධ්යක්ෂ සංචිත ජයකොඩි මහත්වරු එක්ව සිටියහ.
