නිමල් රාජපක්ෂ-
*නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාල සංවර්ධනය කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කිරීම රජය විසින් ලබා දී ඇති ඉලක්කයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙම්න් නොවැම්බර් 15 දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
තිරුක්කෝවිල් විශ්ව තුලසි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පන්ති කාමර සහිත ගොඩනැල්ල විවෘත කළ අග්‍රාමාත්‍යතුමිය අනතුරුව පාසල් දරුවන් සහ දෙමාපියන් සමඟ සුහද කථා බහකටද එක්විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම විද්‍යාලයේ පැරණි ගොඩනැගිලි භාවිතයට ගතහැකි පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට ද කටයුතු කර තිබිණි. පසුව තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණි අතර
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
අපට ඉතා හොඳ විෂය මාලාවක් සකස් කළ හැකියි නමුත්, එය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ පාසල් මට්ටම තුළින්. ඒ සඳහා දක්ෂ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පහසුකම් මෙන්ම පළාත් හා කලාප මට්ටමින් යහපත් පරිපාලන ව්‍යුහයක් අත්‍යවශ්‍යයි.
අපි සැලසුම් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂය මාලාව වෙනස් කිරීම පමණක් නෙවෙයි, ගුරු පුහුණුව සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු සියලු අංශ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එහිදී කලාප අධ්‍යාපන කාර්යාල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා, නමුත් එම කාර්යාල මුහුණපාන ගැටළු රැසක් තිබෙන බව අපි දන්නවා.විශේෂයෙන් කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන්ගේ සහ පහසුකම්වල හිඟයක් පවතිනවා. පාසල්වලට විවිධ පහසුකම් ලබා දුන්නද ඇතැම් කලාප කාර්යාලවල නිසි පරිදි පරිගණක පහසුකම් පවා නැහැ.
ඒ නිසා, කලාප අධ්‍යාපන කාර්යාලවල පවතින අඩුපාඩු සකස් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ වන විට කලාප අධ්‍යාපන කාර්යාලවල පුරප්පාඩු සම්පූර්ණ කිරීම ආරම්භ කර තිබෙනවා. 2026 වසරේදී ඒ වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කළා. ඉදිරියටත් එම කටයුතු අඛණ්ඩව සිදු කරනවා. මීට අමතරව, පහසුකම් ලබා දීමේ පළමු අදියර යටතේ තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන කාර්යාලය සඳහා මිලියන 90ක මුදලක් වෙන් කර තියෙනවා. එම කටයුතු අවසන් වීමත් සමඟ ඉදිරි කටයුතු සඳහා තවදුරටත් ප්‍රතිපාදන වෙන් කරන්න අපි සූදානම්. මේ හරහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කලාප කාර්යාලවලට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා මාර්ගගත (Online) ක්‍රමවේදයක් මේ වන විට සකස් කරමින් පවතිනවා. එම මාර්ගගත කළමනාකරණ පද්ධතිය (NEMIS) හරහා මේ වන විටත් ගුරු ස්ථාන මාරුවීම් සිදු කරනවා. අනාගතයේදී දරුවන්ගේ තොරතුරු ද මෙම පද්ධතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් පාදක ඇගයීම් සඳහා වැඩි බර තැබෙන බව ඔබ දන්නවා. ගුරුවරුන්ගේ ලිපි ලේඛන පිරවීමේ අපහසුතා මඟහරවා ගැනීම සඳහා එම ඇගයීම් ක්‍රමය ද මාර්ගගත ක්‍රමයට සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. එය අධීක්ෂණය කිරීමත් කලාප අධ්‍යාපන කාර්යාලයට පහසු වෙනවා. ලබන වසරේ 6 වන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන අතරම, නව ඇගයීම් ක්රමයද හඳුන්වා දෙන්න අපි සූදානම් වෙනවා. ඒ සඳහා අවශ්‍ය පරිගණක සහ අන්තර්ජාල පහසුකම් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දෙන්නත් සැළසුම් කර තිබෙනවා.
තිරුක්කෝවිල් කලාප කාර්යාලය මීට පෙර ලංකාවෙන්ම සිව්වන ස්ථානය දිනාගෙන තිබුණා. මෙම ප්‍රතිපාදන ලැබීමත් සමඟ එම ස්ථානය පළමුවැන්න බවට පත් විය යුතුයි. දරුවාට ලබා දෙන පොතපත පමණක් නොවෙයි, සැම දෙනාම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කොටස්කරුවන් වෙන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පමණක් අපට මේවා සංවර්ධනය කරන්න බැහැ. 2027 අයවැයෙන් වෙන් කළ මුදල් අපි කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට කටයුතු කරනවා. 2027 දෙසැම්බර් 31 වන විට, ලබා දුන් මුදල් නැවත භාණ්ඩාගාරයට යැවීමට ඉඩ නොදෙන ලෙස පාසල්වල අවශ්‍යතා නිවැරදිව ඉටු කිරීම සඳහා කටයුතු කරන්න. සියලු දෙනා එක්ව ආසියාවේ මෙන්ම ලෝකයේ හොඳම අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනය බවට පත්කරමින් සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට කැප වෙමු. යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, අබුබකර් ආදම්බාවා ඇතුළු මන්ත්‍රීවරුන්, තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර් උදයකුමාර් ඇතුළු අධ්‍යාපන බලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
