Spread the love

නිමල් රාජපක්ෂ

උතුරු නාවික විධානයේ නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 21 වැනි දින සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි.

ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු නාවික විධානය වෙත පැමිණි නාවික හමුදාධිපති, උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආරක්‍ෂක තත්වය, මෙහෙයුම් සූදානම, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති පිලිබඳ නාවික හමුදාධිපති දැනුවත් කිරීම,  විධාන මූලස්ථාන ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණි.  

එහිදී, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබඳව සිය දැක්ම සහ ප්‍රමුඛතා නැවත අවධාරණය කළ නාවික හමුදාධිපති, ඒ සඳහා උපායමාර්ගික වටපිටාව පිළිබඳ අවබෝධය මත පදනම් වූ මෙහෙයුම් සූදානම, මෙහෙයුම් හැකියාවන් හා ධාරිතාවන් සංවර්ධනය කිරීම, ඩිජිටල් වේදිකා සහ ස්වයංක්‍රීයකරණය භාවිතයට ගැනීම, කාර්යක්ෂම පරිපාලනය හා කාලෝචිත තීරණ ගැනීම මෙන්ම, නාවික හමුදා සාමාජිකයින්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සුභසාධනය සහතික කිරීම යන කරුණු අවධාරණය කළේය.

දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම මෙන්ම, දූපත් ආශ්‍රිත ප්‍රජාව වෙත සහ රාජ්‍ය ආයතන වෙත අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් සිවිල් ආයතන සහ නාවික හමුදාව අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද නාවික හමුදාධිපති එහිදී විශේෂයෙන් අවධාරණය කරනු ලැබීය.