Spread the love

නිමල් රාජපක්ෂ-

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ඊයේ දින (8/12) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අයකරන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිළධාරීන් භාරයට ගෙන තිබේ. මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා රැකියා ලබාදිය හැකිබවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය තිබේ. එසේම ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කර තිබේ. 

මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරතවීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවටද විමර්ශන නිළධාරීන්ට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (8/13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාල අංශවල සේවය කරන නිළධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිළධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.  එසේම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වලකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.