මාලන් විතාන –
ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොව ඔවුන් ද සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයින් සහ පෙරගමන්කරුවන් ලෙස හඳුනාගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඔක්තෝබර් 07 වන දින කොළඹදී පැවති ආසියා-පැසිෆික් කලාපයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන නවෝත්පාදන මැයෙන් පැවති සමුළුවේ (Asia – Passific conference on Innovation in Rural Development) සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.
ඔක්තෝබර් 07 සිට 09 දක්වා පැවැත්වෙන මෙම සමුළුව, ආසියා හා පැසිෆික් කලාපය සඳහා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය (CIRDAP) සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අතර වෙනස්වීම් හමුවේ ශක්තිමත් ලෙස ගොඩ නැගෙන, සියලු දෙනා ඇතුළත් සහ තිරසර ග්‍රාමීය ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නවෝත්පාදන අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීමට මෙම සමුළුව හරහා අවස්ථාව උදා කර දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
තාක්ෂණය ග්‍රාමීය ප්‍රජාවන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවත්, එමඟින් ග්‍රාමීය ප්‍රජාව ඩිජිටල් සහ ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර රැසක සිදු වී ඇති වෙනස්කම් රැසකට මුහුණ දෙන බව සඳහන් කළා ය. එම පරිවර්තනවලින් මෙතෙක් ප්‍රතිලාභ නොලැබූ ප්‍රජාවන්ටද එම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි නවෝත්පාදන ප්‍රවේශයන් හඳුන්වා දීමේ වැදගත්කමද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
ග්‍රාමීය ප්‍රජාව හුදෙක් සංවර්ධනයේ ප්‍රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොව ඔවුන් ද සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයින් සහ පෙරගමන්කරුවන් ලෙස හඳුනාගත යුතු බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා, තිරසාර කෘෂිකාර්මාන්තය, වෙළෙඳපොළ ප්‍රවේශය, ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම වැනි කලාපීය වශයෙන් මුහුණ දෙන පොදු අභියෝගවලට රටවල් තනි තනිව කටයුතු කරමින් විසඳුම් සෙවිය නොහැකි බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
ග්‍රාමීය ප්‍රජාව, ගොවීන්, පර්යේෂකයන්, තරුණ පරපුර, කාන්තා ව්‍යවසායකයන්, විශ්වවිද්‍යාල, සංවර්ධන සංවිධාන, පෞද්ගලික අංශය සහ රාජ්‍ය ආයතන එකට එක් කර ගනිමින් දැනුම, අත්දැකීම් සහ නවෝත්පාදන විසඳුම් හුවමාරු කර ගැනීමට මෙම සමුළුව වැදගත් අවස්ථාවක් සලසන බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. “කලාපීය සහයෝගිතාව දේශීය අත්දැකීම්වලින් ඔබ්බට ගොස් වෙනස් විදියට සිතන්න ඉඩ සලසා දෙනවා,” යැයි අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.
ශ්‍රී ලංකාව CIRDAP සඳහා සිය දායකත්වය දෙන බවත්, එහි පාලක මණ්ඩලය, විධායක කමිටුව සහ තාක්ෂණික කමිටුව සමඟ කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, CIRDAP අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පී. චන්ද්‍ර ශේකරා, HARTI අධ්‍යක්ෂ මහාචාර්ය ආචාර්ය ඒ. එල්. සඳික ඇතුළු CIRDAP කලාපයේ රටවල් නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
