හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.
1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ අතර ඇය මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද සමත් වූවාය.
පසුගිය 24දා සවස මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආ අතර එය පසු දින පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය.
පසුව අද පෙරවරුවේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබීය.
පසුව පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදි මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකරනු ලැබීය.
පසුව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වීය.
ඒ අනුව හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමුගත්තාය.
1947 වසරේ අප්‍රේල් මස කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසුකාලිනව ශ්‍රී ලංකාවේ සිනමාව දික්විජය කළ ඇය මාලනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්වූවාය.
