Spread the love

මාලන් විතාන-

කුඩා දරුවන් කිසිදු වරදක් සිදු කර නැහැ. ඔවුන් කිසිදු අපරාධයකට වගකිව යුතු නැහැ. එහෙත් ඔවුන්ගේ ජීවිතයේ මුල්ම අත්දැකීම් සිදුවන්නේ බන්ධනාගාර පරිසරයක් තුළයි. සමාජයක් ලෙස අපගේ සැබෑ ශිෂ්ටත්වය මැනිය හැක්කේ, එවැනි අහිංසක දරුවන්ගේ අයිතිවාසිකම් සහ අනාගතය අප කෙසේ ආරක්ෂා කරනවාද යන්න මතයි.


දරුවෙකුගේ දෑසේ බිය වෙනුවට බලාපොරොත්තුව පිරවීම, ඔහුගේ හෝ ඇයගේ හදවතේ හුදකලාව වෙනුවට ආදරය පිරවීම, අප සැමගේ සදාචාරාත්මක වගකීමක්. මන්ද, අද අප අතහැර දමන දරුවා හෙට සමාජයේ ගැටලුවක් විය හැකි අතර, අද අප රැකබලා ගන්නා දරුවා හෙට සමාජයට ආලෝකයක් විය හැකියි.


ඒ සඳහාම “Second Chance: Inclusive Learning and Livelihoods (SCILL)” වැඩසටහන යටතේ මෙම මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන බන්ධනාගාර පද්ධතිය තුළ නිල වශයෙන් ඔබ සැම එක්ව ස්ථාපිත කර තිබෙනවා. තෝරාගත් සහ පුහුණුව ලත් පෙරපාසල් ගුරුවරුන්ගේ සෘජු දායකත්වයෙන්, මෙම දරුවන්ට ඔවුන්ට හිමි අධ්‍යාපනික සහ සංවර්ධන අවස්ථා ලබාදීමට අප සමාජයක් ලෙස සමත් වීම ඉතා වැදගත් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ (4) තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී එක්වෙමිනි.


ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.


මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR), මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන, බන්ධනාගාරගත මව්වරුන් සමඟ රැඳී සිටින වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශාරීරික, මානසික, සමාජීය හා ආකල්පමය සංවර්ධනය තහවුරු කිරීමේ අරමුණින් ඔබ සැම විසින් ආරම්භ කර තිබෙනවා.


ළමා කාලය යනු මිනිස් ජීවිතයේ අතිශය සංවේදී, අතිශය වටිනා සහ අනාගතය තීරණය කරන අවධියයි. විද්‍යාත්මක පර්යේෂණ අනුව පුද්ගලයෙකුගේ මොළයේ සංවර්ධනයෙන් විශාල කොටසක් සිදුවන්නේ ජීවිතයේ මුල් වසර පහ තුළයි. එම නිසා මුල් ළමාවිය සංවර්ධනය යනු අධ්‍යාපන ප්‍රතිපත්තියක් පමණක් නොව, ජාතියක අනාගතය ගොඩනගන ප්‍රධාන ආයෝජනයක්. අපි ශිෂ්ට සම්පන්න, වගකීම් සහගත, නීතියට ගරු කරන, අන්‍යයන්ගේ වේදනාව තේරුම් ගන්නා පුරවැසියන් බිහිකිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ගමන ආරම්භ විය යුත්තේ මුල් ළමාවිය තුළින්. දරුවෙකුට ලැබෙන ආදරය, ආරක්ෂාව, අවධානය සහ නිසි අධ්‍යාපනය ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය පමණක් නොව, සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරයද හැඩගස්වයි.


එබැවින් පූර්ණ ළමාවිය සංවර්ධනය යනු දරුවන්ට අකුරු උගන්වන වැඩසටහනක් පමණක් නොවේ. එය සංවේදීත්වය, කරුණාව, අන්‍යෝන්‍ය ගෞරවය, විවිධත්වය පිළිගැනීම සහ සහජීවනයේ වටිනාකම් ගොඩනැගීමේ ක්‍රියාවලියකි. එමගින් අපි හෙට දවසේ වඩාත් මානුෂීය, වඩාත් සංවේදී සහ වඩාත් සමගි සමාජයක් සඳහා අඩිතාලම දමනවා.
.