නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2026 සැප්තැම්බර් 29) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙණ වියළි කහ, එනසාල් පොතු සහ හක්බෙල්ලන් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැක කටයුතු උර පහලවක් (15) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙණ වියළි කහ කැබලි කිලෝග්‍රෑම් එකසිය තිස්අටක් (138), එනසාල් පොතු කිලෝග්‍රෑම් අසූවක් (80) සහ හක්බෙල්ලන් තුන්සිය හැත්තෑවක් (370) සොයා ගන්නා ලදී.
තවද නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමන ලද බවට සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් මෙම භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
