නිමල් රාජපක්ෂ
ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී, කාර්යක්ෂම සහ නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් රටට අත්යවශ්ය බවත්, ඒ වෙනුවෙන් වූ පහසුකම් ලබා දීමට රජය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි.
මෙරට රාජ්ය යන්ත්රණයේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ සියවසක් සපුරන රජයේ මිනින්දෝරු සංගමය සිය අභිමානවත් ගමන්මග තුළ වෘත්තීය ගරුත්වය සහ සේවා ප්රමිතීන් සුරකිමින් මෙරට සංවර්ධන ක්රියාවලියට ලබා දෙන සුවිශේෂී දායකත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි.
තාක්ෂණික ප්රගතිය, වෘත්තීය සංවර්ධනය සහ දැනුම හුවමාරුව ප්රවර්ධනය කිරීම, මිනින්දෝරු සේවයේ අතීත පරම්පරාවල සේවය අගයමින්, අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා නව පරම්පරාවේ මිනින්දෝරුවන් සූදානම් කිරීම මෙන්ම නිවැරදි සහ විශ්වාසදායක මිනින්දෝරු සේවාවන් තුළින් ජාතික සංවර්ධනයට අඛණ්ඩව දායක වීමට රජයේ මිනින්දෝරු සංගමය අපේක්ෂා කරයි.
මෙම 100වෙනි වාර්ෂික සම්මේලනයට සහභාගි වීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර තැනකට ගෙන ඒමටත්, ඒ ආර්ථිකයෙන් ලබාගන්නා ප්රතිලාභ ජනතාව වෙත ගලා යැවීමටත්, අපි විශාල වෙහෙසක් දරනවා. සැලකිය යුතු ප්රමාණයකින් රාජ්ය ආදායම ඉතාමත් ශක්තිමත් තැනකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට 2025 වසරේදී අපේක්ෂිත ආදායම 110% දක්වා වර්ධනය වුණා. මීට පෙර කිසිදු අයවැයකින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ අතර සැබවින්ම පැවැතියේ ඊට වඩා බෙහෙවින් අඩු මට්ටමකයි.
2026 වසරේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්රධාන ආදායම් ප්රභව වෙත ලබා දී ඇති ඉලක්ක සපුරාලමින් ඉතා යහපත් ආදායම් මට්ටමක් ලබා ගැනීමට සමත් වුණා.
එදා රජයට මුදල් නොමැති වූ බැවින් නිරන්තරයෙන් මුදල් මුද්රණය කිරීමට හෝ බැංකු පද්ධතියෙන් ණය ගැනීමට සිදු වුණා. 2022 වකවානුවේදී භාණ්ඩාගාර ගිණුම රුපියල් බිලියන 700ක පමණ ඍණ මට්ටමක පැවැති නමුත්, අද වන විට රුපියල් ට්රිලියනයකට ආසන්න ධන අතිරික්තයක් භාණ්ඩාගාර ගිණුමේ පවතිනවා. එමගින් පැවැති රුපියල් අර්බුදය සැලකිය යුතු ලෙස නිරාකරණය කරගෙන තිබෙනවා.
රටට අවශ්ය ඩොලර් උපයා ගැනීමට නොහැකි වීම ආර්ථික අර්බුදයට හේතු වුණා. 2025 වසරේදී ජංගම ගිණුමේ ශේෂය එනම් රට තුළට පැමිණි සහ පිටතට ගිය ඩොලර් ප්රමාණය අතර වෙනස — ඉතා වැදගත් මට්ටමකට පැමිණියා. නිදහස් ශ්රී ලංකා ඉතිහාසයේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතියේ අවස්ථා තුනකදී පමණයි. එම අවස්ථාවල පැවතුණේ ඩොලර් මිලියන 300ක පමණ වැඩිවීමක්. හැබැයි 2025 දී අපගේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1800ක් දක්වා ඉහළ ගියා.
එහෙත් මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හමුවේ අපට අනපේක්ෂිත බලපෑමකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසරේ තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4ක් වැය වූ අතර, මෙවර අගෝස්තු අවසන් වන විටත් ඩොලර් බිලියන 4ක් වැය වී තිබෙනවා. වසරෙන් තුනෙන් දෙකකදී ඩොලර් බිලියන 4ක් වැය වූ බැවින් වසර අවසාන වන විට එය ඩොලර් බිලියන 6 ඉක්මවා යා හැකියි. එම නිසා ඩොලර් සඳහා ඇති වන තෙරපුම පාලනය කරගැනීම අප හමුවේ ඇති ප්රධාන අභියෝගයයි.
ඩොලර්වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්යාපෘති ප්රමාණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගය, රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගය, කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය යන ව්යාපෘති මෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගය විද්යුත්කරණය සඳහා රුපියල් බිලියන 600ක ඇස්තමේන්තුගත ව්යාපෘතිය ලබන වසරේදී භාණ්ඩාගාර අරමුදල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
.
