නිමල් රාජපක්ෂ
උස්බෙකිස්ථානයේ සමර්කන්ද් නගරයේදී ඔක්තෝබර් 21 සහ 22 දෙදින පැවැති ළමා යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ ලෝක සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු නියෝජ්ය අමාත්ය වෛද්ය නාමල් සුදර්ශන සහභාගි විය.
“Investing in Children’s Wellbeing: A Path to Sustainable and Equitable Development for Future Generations” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවට රටවල් 100කට අධික සංඛ්යාවක නියෝජිතයන් 600කට වැඩි පිරිසක් සහභාගි වූහ. රාජ්ය ප්රතිපත්ති සම්පාදකයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර සංවිධානවල නියෝජිතයන් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් ඒ අතරට අයත් වූහ.
දරුවන්ගේ සෞඛ්යය, අධ්යාපනය සහ ආරක්ෂාව ජාතික ප්රමුඛතා අතර ඉහළින් තැබීම, ළමා දිළිඳුකම හා මන්දපෝෂණය අවම කිරීම, ළමා අපයෝජන සහ ප්රචණ්ඩත්වය වැළැක්වීම මෙන්ම සියලු දරුවන්ට සමාන අවස්ථා සහිත සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීම පිළිබඳව සමුළුවේදී ප්රමුඛ අවධානය යොමු කෙරිණි.
දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කරන සම්පත් වියදමක් ලෙස නොව, අනාගත පරපුරේ මානව සංවර්ධනය හා තිරසර සංවර්ධනය උදෙසා කරන ආයෝජනයක් ලෙස සැලකීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය. එමෙන්ම, ආබාධ සහිත දරුවන්, පවුල් රැකවරණය අහිමි දරුවන් සහ සමාජීය වශයෙන් අවදානමට ලක්වන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
සමුළුවට සමගාමීව ළමා පිළිකා පිළිබඳ දෙවන ජාත්යන්තර කොංග්රසය ද පැවැත්වුණු අතර, ළමා පිළිකා සඳහා ප්රතිකාර සේවා, අත්යවශ්ය ඖෂධ සඳහා ප්රවේශය සහ රෝගී දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.
සමුළුවේ ප්රධාන ප්රතිඵලයක් ලෙස දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ සමර්කන්ද් ප්රකාශනය (Samarkand Declaration on Investing in Children’s Wellbeing) සම්මත කරගැනීම තුළින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වෙනුවෙන් ජාත්යන්තර කැපවීම් ජාතික මට්ටමේ ක්රියාමාර්ග බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කෙරිණි.
මෙම සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්ය අමාත්යවරයාගේ සහභාගිත්වය, ළමා ආරක්ෂණය හා සංවර්ධනය සම්බන්ධ ජාත්යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, දරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් වැදගත් අවස්ථාවක් විය.
