නිමල් රාජපක්ෂ-
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය, ජාතික විද්යා පදනම (NSF) සහ ශ්රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ ගම්පහ දිස්ත්රික් ජාතික පාසල් විද්යා වැඩසටහනේ දෙවන අදියර විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් කැළණිය විශ්ව විද්යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ දී පැවැත්විණි.
පාසල් සිසුන්ගේ තරුණ මනස තුළ විද්යාත්මක චින්තනය දිරිගැන්වීමත්, පාසල් ශිෂ්ය ප්රජාව අතරින් අංකුර විද්යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමත් වෙනුවෙන් හිතකර පරිසරයක් නිර්මාණය කර ගැනීම මෙන්ම ඒ සඳහා පාසල් සිසුන් තුළ උද්දීපනයක් ඇතිකිරීම මෙම වැඩසටහනේ ප්රමුඛ අරමුණයි.
දරුවන් තුළ කුඩා කළ සිටම කුතුහලය හා නිරීක්ෂණය හරහා විද්යාත්මක චින්තනය දිරිගැන්වීම, පර්යේෂණ සිදු කිරීමේ කුසලතාව දියුණු කිරීම, නිර්මාණශීලීත්වය හා නව නිපැයුම් ප්රවර්ධනය, නවෝත්පාදන හා ව්යවසායකත්ව චින්තනය දියුණු කිරීම සහ විද්යාව හා තාක්ෂණ ක්ෂේත්රයන් තුළ පවතින පර්යේෂණමය හා වෘත්තිමය අවස්ථා සඳහා පූර්ව මඟ පෙන්වීමක් ලබා දිම අරමුණු කර ගනිමින් මෙම ජාතික පාසල් විද්යා වැඩසටහන ක්රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ කැළණිය සහ මීගමුව අධ්යාපන කලාප මූලික කරගනිමින් ගම්පහ දිස්ත්රික්කයේ පාසල් අතර පාසල් විද්යා සමාජ සහ යොවුන් නව නිපැයුම් සමාජ 100 කට අධික සංඛ්යාවක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම මෙහි දී සිදු කෙරිණි.
ඉදිරියේදී පාසල් විද්යා සංගම් සහ යොවුන් නව නිපැයුම් සමාජ ජාලය හරහා විද්යා සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් සක්රීය සහ අඛණ්ඩ වැඩසටහනක් දියත් කිරීමට විද්යා හා තාක්ෂණ අමාත්යාංශය අපේක්ෂා කරයි.
කිසියම් දරුවෙකු විසින් සංවර්ධන විභවයක් සහිත විද්යාත්මක සංකල්පයක් හෝ නිපැයුමක් බිහි කිරීමට උත්සාහ කරන්නේ ඒ සඳහා අවශ්ය සහය ලබාදීමට අමාත්යාංශය සූදානමින් සිටී. ඒ අනුව මීට පෙර ස්ථාපිත කරන ලද යොවුන් නව නිපැයුම් සමාජ හරහා ඉදිරිපත් කෙරුණු දේශීය ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි සාර්ථක නව නිපැයුම් ව්යාපෘති යෝජනාවන් 5 ක් සඳහා එහි ඉදිරි කටයුතු වෙනුවෙන් රු.50,000.00 බැගින් මූල්ය ප්රදානයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.
ජාතික විද්යා පදනම, ශ්රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්යස්ථානය, නර්ඩ් ආයතනය, ශ්රී ලංකා පරමාණු ශක්ති මණ්ඩලය යන ආයතනයන්හි නිලධාරීන් විසින් වර්තමාන හා අනාගත විද්යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඇති පුළුල් විභවතාවන් සහ ඒ මගින් ගොඩනැගෙන ප්රතිලාභ අවස්ථාවන් පිළිබඳවත් දැනුවත් කළහ. පාසල් දරුවන් වෙනුවෙන් අදාළ ආයතන මගින් නිර්මාණය කර ඇති වැඩසටහන් පිළිබඳවත් ඔවුහු දීර්ඝව පැහැදිලි කළහ.
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණි දිසානායක, අධ්යක්ෂ ඒ්.බුද්ධිකා සිල්වා, ජාතික විද්යා පදනමේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ශීරෝමි පෙරේරා, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්යක්ෂ නලීන් දොලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වුහ.
