Spread the love

නිමල් රාජපක්ෂ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් දහතුන් දෙනෙකු (13), 2023 හා 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසි තුන්දෙනෙකු (23) සහ එක්සත් ජනපද නාවික විද්‍යාපීඨයේ හා වෙරළාරක්ෂක විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 63 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු (02) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනුෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන්, 2025 ජූලි මස 26 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

සාර්ථකව පුහුණුව අවසන් කල මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලද අතර, විසිර යාමේ පෙළපාලිය පරීක්‍ෂා කළ නාවික හමුදාධිපති, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් වෙත සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.

ඒ අනුව, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ දක්ෂතම තාක්‍ෂණික මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ආර්ඩබ්ටීඑස් වඩුගේ වෙතත්, 02/2023 ඉඳුරාම බඳවාගැනීමේ දක්ෂතම ඉලක්කකරුට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ජීජීඩීකේ දයාරත්න වෙත සහ 03/2024 ඉඳුරාම බඳවාගැනීමේ දක්ෂතම ඉලක්කකරුට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ටීඑම්පීඩී තෙන්නකෝන් වෙත පිරිනැමීම එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

එමෙන්ම, නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් සහ සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංදර්ශණයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරුණු හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උත්සවය නිමාවට පත්විය.