Spread the love

-නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් ගෙඩි පිටරට පැටවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.
මේ යටතේ දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇත. මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල සම නායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

අනාගත ඉලක්ක සහ තිරසාර වර්ධනය රජයේ ඉදිරි සැලසුම් අනුව 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.
මේ සඳහා දීර්ඝකාලීන පියවරක් ලෙස “උතුරු පොල් ත්‍රිකෝණය” ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000 ක් වගා කිරීමේ කටයුතු සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවරවල ප්‍රතිඵල දැක ගත හැක්කේ මධ්‍යම හා දිගු කාලීනව වුවද කෙටි කාලීන වශයෙන් දේශීය පරිභෝජනය රටා වෙනස් කිරීම වෙනුවෙන්, ගෘහස්ථ මට්ටමේදී පොල් භාවිතය වඩා කාර්යක්ෂම කර ගැනීම (පොල් වතුර, පොල් කටු, පොල් ලෙලි), දෛනික පරිභෝජනය සඳහා විකල්ප නිෂ්පාදන භාවිතයට ගැනීම (පිටි හා කිරි), දේශීය නාස්තිය අඩු කිරීම සඳහා සරල තාක්ෂණ භාවිතය මෙන්ම පොල් අපනයනකරුවන්ට නැවත අපනයනය සඳහා පමණක් සීමා කරමින්, පොල් කිරි සහ පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට අවසර ලබා දීම වැනි තීරණ කිහිපයක් රජය විසින් ගන්නා ලදි.

මෙලෙස ආනයනය කළ ප්‍රමාණය ඉතා සීමිත වුවද, මෙම කාලෝචිත ප්‍රතිපත්ති තීරණය මඟින් දේශීය වෙළඳපොළේ හිඟයක් ඇති නොවීමටත්, එකවරම අපනයන කර්මාන්තයේ ගමන්මග ආරක්ෂා කිරීමටත් හැකි වී තිබේ.