Spread the love

මාලන් විතාන –

නීරෝගී ජනතාවක් ශක්තිමත් රටක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීමේ සත්කාරයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ජනතාව අතර වඩාත් සමීප කිරීම සඳහා දිවයින පුරා “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද(01) ආරම්භ විය.

අද දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඔක්තෝබර් මාසය වන විට දිවයින පුරා නව මධ්‍යස්ථාන 25ක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ වන විටත් මෙවැනි මධ්‍යස්ථාන 39ක් ඔස්සේ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයෙන අතර, ඉදිරියේදී මෙම සියලුම මධ්‍යස්ථාන නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ලෙස රිදීමාලියද්ද ගැමුණුපුර සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේවැඩසටහන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය අනුකමිටු සභාපති රවීන්ද්‍ර ‍ බණ්ඩාර මහතාගේ හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.මෙම ආරෝග්‍යා ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 60ක පමණ මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට කටයුතු කෙරේ.

මෙම “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන මගින් රෝග කල්තියා හඳුනා ගැනීම, සෞඛ්‍ය පරීක්ෂණ, සෞඛ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම්, රෝග වැළැක්වීම සඳහා මඟ පෙන්වීම හා අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඇතුළු සත්කාර රැසක් ප්‍රජාව වෙත නොමිලේ ලබාදීමට පහසුකම් සැලසේ.

රෝහල්වල පවතින තදබදය අවම කිරීමත්, රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම හා කාල කළමනාකරණය කර ගැනීම මෙහි අපේක්ෂාව වේ.

මෙම අවස්ථාව සඳහා ගිරාඳුරැකෝට්ටේ ධර්මෝදය මහා පිරිවෙනේ පරිවේණාධිපති, ගැමුණුපුර ගැමුණු මහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහාඔය නාගිත ස්වාමීන් වහන්සේ, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ,පළාත් සෞඛ්‍ය ලේකම් ජීවන්ත හේරත් මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය අධක්ෂක අත්තනායක මහතා, පළාත් ⁣සැලසුම් වෛද්‍ය නිලධාරිතුමන්, ප්‍රාදේශීය සැලසුම් වෛද්‍ය නිලධාරිතුමන්, සහකාර පළාත් සෞඛ්‍ය ලේකම්තුමන්, වෛද්‍ය නිලධාරින්, රිදීමාලියද්ද , මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී විය.