නුවරඑළිය රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමට භාවිත කළ ඖෂධයක් නිසා ඇස් අන්ධ වූ පිරිස ඉලක්ක කර අදාළ සමාගම පගාව දීමට සූදානමක් පවතින බවට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන චෝදනා කළේ ය.
ඒ පිරිස වෙනුවෙන් වන්දි ගෙවීමට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල එදා පොරොන්දු වුවත් ඒ වන්දිය ලබාදී නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරට ත් මෙසේ ද කීය.
“වකුගඩු රෝගීන් ගැන කතා කළොත් දීර්ඝ කාලයක් දියවැඩියාව තියෙන රෝගීන්ටත් වකුගඩු රෝගය හැදෙනවා. දියවැඩියාවට බෙහෙත් ගන්න රෝගීන්ටත් වකුගඩු රෝගය හැදෙනවා. ඒකට රජයේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මමත් වසන්ත යාපා බණ්ඩාර මන්ත්රීතුමාත් ගරු අධිකරණයේ පැමිණිල්ලක් කළා. නුවරඑළිය රෝහලේ ඇසේ සුද ඉවත් කරන්න භාවිත කළ ඖෂධයක් නිසා ඇස් අන්ධ වෙච්ච පිරිස වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල එදා පොරොන්දු වුණා මේ ගරු සභාවේ ඒ අයට වන්දියක් දෙනවා කියලා. ඒ වන්දිය දීල නෑ. හැබැයි මේ සමාගම ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන පගාව, අල්ලස් දෙන්න උත්සාහ කරනවා. අපි අධිකරණයට ගිහින් තියෙනවා. මේ ගැන අවධානය වහා ම යොමු කරන්න.”