Spread the love

නිමල් රාජපක්ෂ

​මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී සහ අවදානම් සහගත වාතාවරණය සැලකිල්ලට ගනිමින්, එම රටවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, ඔවුන්ගේ තොරතුරු කඩිනමින් සොයා බැලීමත් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර රැසක් ගෙන ඇත.

මේ වනවිට එම රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරයෙන් ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලමින් සිටින අතර කිසියම් හදිසි අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ  සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද කාර්යාංශය විසින් සිය තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර තිබේ.

තානාපති කාර්යාල වෙතින් ලැබෙන නිල නිවේදන අනුව මේ වන විට කිසිදු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට අනතුරක් සිදුවී නැතැයි වාර්තාවේ. අදාල රටවල සිටින ශ්‍රමිකයන්ට කිසියම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ  තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසද කාර්යාංශය මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි.

​එසේම හදිසි අවශ්‍යතාවයන්හිදී කාර්යාංශය ඇමතීමට හා තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංකයක්ද  කාර්යාංශය විසින් හදුන්වා දී තිබේ.

0094 704776008 යන අංකය ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව කාර්‍යාංශය දන්වා සිටී. ඊට අමතරව, කාර්යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1989 හරහාද තොරතුරු ලබාගත හැකිවේ.

​කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, අදාළ තානාපති කාර්යාල වල උපදෙස් පිළිපදින ලෙසත් මැදපෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.