Spread the love

නිමල් රාජපක්ෂ

අවිධිමත්ව සංවර්ධනය වී ඇති සෞඛ්‍ය සේවාව සැළසුම් සහගතව ඉදිරියට ගෙන යාමේ අභියෝගයට මුහුණු දෙන බවත්, බාධක, අභියෝගවලට මුහුණු දෙන සියළු සෞඛ්‍ය කාර්මණ්ඩල ශක්තිමත් කිරීමට උපරිමයෙන් මැදිහත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ කළමණාකරණ කමිටු රැස්වීම (Management Committee Meeting) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රෝහල වර්තමානයේ දී මුහුණ දෙන ප්‍රධාන අභියෝග මෙන්ම රෝහලේ ඉදිරි රෝගී ප්‍රතිකාර සේවා සක්‍රීයව සිදු කිරීම සඳහා වන සැළසුම් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කළ අතර, මෙහිදී රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, ක්‍රියාත්මක ව්‍යාපෘති, ඩිජිටල්කරණය, කාර්ය මණ්ඩල නිල නිවාස, ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය.

මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියයට 80 ක පමණ ප්‍රධාන අවශ්‍යතාවයක් ව ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ හෙද නිල නිවාස ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතීන් සහ ඔක්සිජන් ඒකකය පුළුල් කිරීමෙි කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද කරුණු කරුණු සාකච්ඡා කරන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ආයතන සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදීම 2026 යටතේ කළමණාකරණ කමිටු රැස්වීමේ දී රෝහලේ හඳුනා ගත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා මෙහිදී මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ අතර ගොඩනැගිලි පුනරුත්ථාපන කටයුතු සඳහා වන රුපියල් මිලියන 130 ක් යටතේ පහත සඳහන් කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය විය.

ඒ අනුව මායිම් සහ ජලය ගලා ඒමේ අවධානම සහිත ස්ථානය වලට Gabion wall ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 05 ක්, හෙද නිලනිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 65.5 ක්, සුලු සේවක නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියනය 02 ක්, Para Medical family Quarters (පරිපූරක වෛද්‍ය නිල නිවාස) අලුත් වැඩියාව සඳහා රුපියල් මිලියන 03 ක්, ඔක්සිජන් සැපයීම් ස්ථානය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 03 ක්, නුවරඑළිය සෞඛ්‍ය සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 04 ක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය විය.

එ⁣මෙන්ම පැරණි රෝහල් භූමියේ පවතින වාට්ටු සහ ඒකක අලුත් වැඩියාව, නව ගොඩනැගිල්ලේ ජලකාන්දු වීම් සඳහා ස්ථිර විසඳුම් ලබාදීම සහ රෝහලේ අත්‍යවශ්‍ය අනෙකුත් අලුත්වැඩියා කටයුතු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 47.5 කි.

තව ද වෛද්‍ය නොවන යන්ත්‍ර උපකරණය නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 35 ක්, වෛද්‍ය නොවන යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 50 ක්, සේවා සහ නඩත්තු ගිවිසුම් වලට එළැඹීමේ කටයුතු සඳහා මිලියන 30 ක් ද බැගින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) මගින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය සඳහා වෙන්කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 245 කි.

.