සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.
ඊයේ (09) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බොහෝ දෙනෙක් කිව්වේ අවුරුදු සමයේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000 දක්වා ඉහළ යයි කියළයි. නමුත් මේ වනවිට කැරට් මිල පමණක් නොවෙයි අනෙකුත් එළවළු සියල්ලෙහිම මිල පහළ ගොස් තිබෙනවා. බිත්තරයක මිල රුපියල් 75ක් දක්වා ඉහළ යයි කියළා සමහරු කිව්වත් බිත්තර මිලත් රුපියල් 40 දක්වා අඩු වී තිබෙනවා.
වෙනත් වර්ෂවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට වෙළෙඳපළේ මෙම භාණ්ඩ සම්බන්ධව මිල ගණන් ඉහළ යනවා. නමුත් මෙවර එවැනි මිල ඉහළ යාමක් නැහැ. ඒ වගේම අවශ්‍ය තරම් පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව මිල දී ගන්නට පුලුවන්.
මැයි මාසය වනවිට බිත්තරයක මිල රුපියල් තිස් ගණනක් දක්වා අඩුවේවි. මේ අන්දමින් තවත් අභියෝග කිහිපයක් අපිට තිබෙනවා. ඒ සියල්ල ජයගෙන රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත කිරීම අපේ ඉළක්කය යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
