නිමල් රාජපක්ෂ-
මෙරට අධිකරණ වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විධිමත්ව හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම මෙන්ම, එම සේවාව වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා ජාත්‍යන්තර වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල මට්ටමකට සංවර්ධනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට අධිකරණ වෛද්‍ය සේවාවේ වර්තමාන තත්ත්වය, ක්ෂේත්රයේ පවතින මානව සම්පත් හා භෞතික සම්පත් අවශ්‍යතා, තාක්ෂණික සංවර්ධනය සහ සේවා සැපයීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය කටයුතුවලට අදාළ ලිපි ලේඛන, වාර්තා සහ තොරතුරු පවත්වාගෙන යාමේ සමස්ත ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. එමඟින් අදාළ තොරතුරු කළමනාකරණය වඩාත් විධිමත් කිරීම, වාර්තා ලබාගැනීමේ හා හුවමාරු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ අධිකරණ වෛද්‍ය සේවාවේ සමස්ත ක්‍රියාකාරීත්වය නව තාක්ෂණික ප්රවේශයකට යොමු කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක අධිකරණ වෛද්‍ය ඒකකවල පවතින අධිකරණ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය, අවශ්‍ය වෛද්‍ය උපකරණ හා භෞතික පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම, අදාළ රාජකාරි හා සේවා ක්‍රියාවලීන්ට බලපාන චක්‍රලේඛ යාවත්කාලීන කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන්ම එක් එක් අධිකරණ වෛද්‍ය ඒකකයේ සේවා අවශ්‍යතා නිසි පරිදි තක්සේරු කර, ඒවාට සරිලන පරිදි අධිකරණ වෛද්‍ය විශේෂඥයින් හා අනෙකුත් මානව සම්පත් යෙදවීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදී.
තවද, විදේශ රටවලදී මියගොස් මෙරටට ගෙන එනු ලබන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් සිදුකරනු ලබන මරණ පරීක්ෂණවලදී මතුවන ගැටලු සහ එවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේද වඩාත් පැහැදිලි හා විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අධිකරණ වෛද්‍ය සේවාව ඉහළ වෘත්තීය ප්‍රමිතීන්ගෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු අංශවල සංවර්ධනය පිළිබඳව සමස්ත දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
ඒ අනුව, අධිකරණ වෛද්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු, මානව හා භෞතික සම්පත් අවශ්‍යතා, තාක්ෂණික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ පරිපාලනමය යාවත්කාලීන කිරීම් ඇතුළත් විධිමත් හා ප්‍රායෝගික සංවර්ධන යෝජනා මාලාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය මඟින් සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. එම යෝජනා මත පදනම්ව ප්‍රමුඛතා හඳුනාගෙන, අදියරෙන් අදියර අවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, මූලික රෝහල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව ද මෙහිදී සඳහන් විය. එම ව්‍යාපෘතිය යටතේ අධිකරණ වෛද්‍ය ඒකකවලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට ද එකඟතාව පළ විය.
අධිකරණ වෛද්‍ය සේවාව යනු සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් සීමා වූ සේවාවක් නොව, මරණ හා අපරාධ සම්බන්ධ විමර්ශනවලදී විද්‍යාත්මක සාක්ෂි හා විශේෂඥ මත සැපයීම තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ද සෘජු දායකත්වයක් ලබාදෙන අතිශය වැදගත් ජාතික සේවාවකි. එබැවින් එහි වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම, අවශ්‍ය මානව හා තාක්ෂණික සම්පත් ශක්තිමත් කිරීම සහ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිපාලන හා සේවා ක්‍රමවේද ස්ථාපිත කිරීම රටේ සෞඛ්‍ය හා අධිකරණ පද්ධති දෙකෙහිම කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය විය.
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය 2000 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, මේ වන විට අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සියයකට ආසන්න පිරිසක් එහි සාමාජිකත්වය දරති. එමෙන්ම දිවයින පුරා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල 55කට ආසන්න සංඛ්‍යාවක් මඟින් මෙරට අධිකරණ වෛද්‍ය සේවාව ක්‍රියාත්මක වේ. දිවයින පුරා විහිදී ඇති මෙම සේවාවේ කාර්යභාරය හා ජාතික වැදගත්කම සැලකිල්ලට ගත් විට, එහි මානව සම්පත්, තාක්ෂණික හැකියාවන් සහ භෞතික පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය සහ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්යක්ෂවරුන් වන වෛද්‍ය ඉන්දික ජාගොඩ, විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, වෛද්‍ය සුරංග දොලමුල්ල සහ වෛද්‍ය අයන්ති කරුණාරත්න, ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අයන්ති ගුණසේකර, ලේකම් විශේෂඥ වෛද්‍ය තරංග ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු එම විද්‍යායතනය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
