Spread the love

නිමල් රාජපක්ෂ

වයස අවුරදු 18ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම සුවිශේෂී සහයෝගීතාවකට එළැඹීම අද (06) පෙරවරුවේදී සිදු විය.

දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මූල්‍යමය බාධා අවම කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදලෙහි සහ ජනශක්ති පදනමේ සහයෝගිතාවෙන් ජාතික සත්කාරයක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන ‘හෙට දිනන ලොවකට අද සුවය සදමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.

ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් කිසියම් රෝගීයෙකුගේ ප්‍රතිකාර සඳහා වැය වන මුදලින් කොටසක් පමණක් ගෙවනු ලබන අතර, මෙම නව සහයෝගීතාව යටතේ ජනශක්ති පදනම විසින් ඊට සමාන මුදලක් හෝ ප්‍රතිකර්ම සදහා වැය වන ඉතිරි මුදල යන දෙකෙන් අඩු වටිනාකම ගෙවනු ලැබේ.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සදහන් කළේ ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් කරමින් එහි කටයුතු විමධ්‍යගත කිරීමට සහ ඩිජිටල්කරණයට වත්මන් රජය පියවර ගත් බවයි. මෙමගින් ජනාධිපති අරමුදලෙහි පවතින විනිවිදභාවය, වගවීම සහ සඵලතාව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු කෙරෙන බවත්, ජනශක්ති පදනම සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව සමඟ එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පෞද්ගලික අංශය සමඟ එක්ව මනා සම්බන්ධීකරණයෙන් යුතුව සහ අර්ථවත් අයුරින් කටයුතු කිරීමෙන් ළමුන්ට ලබා දෙන සෞඛ්‍යාධාර ඉහළ නැංවීමටත්, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී මූල්‍යමය ආධාර සහ සැබෑ වියදම අතර පවතින පරතරය අවම කිරීමටත් හැකි වනු ඇති බවත් රෝෂන් ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂ, සමූහ ප්‍රධාන විධායක නිලධාරි රමේෂ් ශාෆ්ටර් මහතා සදහන් කළේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දුෂ්කරතාව යනු දරුවන් යහපත් අනාගතයක් කරා යන ගමන වළක්වන සුවිසල් බාධාවක් බවයි.

මෙම සහයෝගීතාව මගින් එම බාධාව අවම කරමින්, සහායක් අත්‍යවශ්‍ය දරුවන්ට එම සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත්, එමගින් අනාගත පරපුරට වඩාත් විශ්වාසයෙන් යුතුව හෙට දිනයට මුහුණ දීමට අවශ්‍ය පදනම සකස් කිරීමට හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම වැඩසටහන යටතේ අමතර මූල්‍ය සහායක් අපේක්ෂා කරන අයදුම්කරුවන් ජනාධිපති අරමුදල සඳහා අයදුම් කිරීමේදී තම තොරතුරු සුරක්ෂිත ලෙස ජනශක්ති පදනම වෙත ලබා දීම සදහා අවසර ලබා දෙන ආකෘති පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

මූල්‍ය සහාය අවශ්‍ය දරුවන් හදුනා ගැනීම, ඔවුන්ගේ තොරතුරු තහවුරු කර ගැනීම සහ මුදල් අනුමත කිරීම ඉදිරියටත් ජනාධිපති අරමුදල මගින් සිදු කරනු ඇත.

මේ යටතේ සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ මුදල දරුවන්ගේ භාරකරුවන් වෙත ගෙවනු ලබන අතර, හදිසි ප්‍රතිකාර සහ විදේශගතව සිදු කරන ප්‍රතිකාර සදහා එම ප්‍රතිකාරවලට පෙර මුදල් ගෙවනු ඇත.

2026 මැයි මස 15වන දින සිට ජනාධිපති අරමුදලට ඉදිරිපත් කරන වෛද්‍යාධාර අයදුම්පත් සදහා ජනශක්ති පදනමෙන් අමතර අරමුදල් ලබා ගැනීමට අයදුම්කරුවන් සුදුසුකම් ලබයි.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් සහ ජනාධිපති උපදේශක (නීති කටයුතු) ජේ.එම්. විජේබණ්ඩාර, ජනශක්ති සමූහයෙහි නිර්මාතෘ සහ සභාපති සී. ටී. ඒ. ෂාෆ්ටර්, සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ගාමික ද සිල්වා, ජනශක්ති සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ සහ ජනශක්ති පදනමේ නිලධාරීහු එක්ව සිටියහ.