.
දේවින්ද පිණිදිය
තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ද එක්ව සිටි අතර, මෙහි දී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් සෞඛ්‍ය සේවාව බලගැන්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනුණි.
මෙම සාකච්ඡාවේ දී දෙරට අතර පැවැති මීත්රශීලී සහයෝගිතාවයන් සිහිපත් කළ රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණූ කිරීමට තම රටේ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් වන මිත්‍රශීලී සහයෝගීතාවයන් වර්ධනය කර ගනිමින් සහයෝගීතාවයන් තවත් ඉහළ නැංවීමට බලාපොරොත්තු බව ද පැවැසීය.
රුසියානු සමූහාණ්ඩුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් සිය ජනතාවට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සැලසුම් සහගත ක්‍රමවේද රැසක් අනුගමනය කර තිබෙන බවත්, එහි දී ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ ද AI තාක්ෂණය ඇතුළු නවීනතම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති බව ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් දැනුවත් කරන ලදි.
එහි දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි හා නගර බද ජනතාවගේ විවිධ රෝග 42 ක් හදුනාගැනීම සහ විනිශ්චය (රසායනාගාර සේවා සහ ළමා රෝග) කටයුතු සඳහා AI තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති නවීන තාක්ෂණික උපකරණ පද්ධතියක් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
රුසියානු සමූහාණ්ඩුවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහාත්, නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ ඇතුළු නවීන AI තාක්ෂණය මුසුකර ගත් නවීන ප්‍රතිකාර සේවා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහාත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරින්ට රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයකට ඇරයුම් කරන බව ද ඊට අදාළ සියලු කටයුතු සුදානම් කළ හැකි බව ද රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා මෙහි දී පැවැසීය.
