නිමල් රාජපක්ෂ-
2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 55ක ප්‍රතිපාදන යටතේ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්රදානය කිරීම අද (28) සිදු කෙරිණි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නිමි ඇඳුම් කර්මාන්තය, කුකුළු මස් වෙළෙඳාම, ශීත කළ ආහාර අලෙවිය, වෙල්ඩින් කර්මාන්තය ඇතුළු ස්වයං රැකියා සඳහා අවශ්‍ය ශීතකරණ, අධි ශීතකරණ, ජුකී මැෂින්, ඕවර්ලොක් මැෂින්, ග්‍රයින්ඩර්, සීලර් ඇතුළු උපකරණ මෙහිදී ප්‍රතිලාභීන් වෙත ප්රදානය කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, මෙම වසර තුළ අස්වැසුම ප්රතිලාභ ලබන ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමට රජය අපේක්ෂා කරන බවයි.
ප්‍රතිලාභීන් වෙත ලබාදෙන මෙම උපකරණ හෝ වෙනත් ආධාර මැති ඇමතිවරුන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික මුදල් නොවන අතර, ඒවා මහජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, ජීවනෝපාය සංවර්ධන උපකරණ හෝ වෙනත් ආධාර ලබාගැනීම හේතුවෙන් අස්වැසුම සහනාධාරය අහිමි වන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අස්වැසුම සහනාධාරය නතර කිරීම හෝ වෙනස් කිරීම සිදුවන්නේ, අදාළ වැඩසටහනේ නියමිත කාලරාමුව හා නිර්ණායක අනුව වන බවද ඔහු පැවසීය.
අස්වැසුම යනු සදාකාලිකව පවත්වාගෙන යන සහනාධාර වැඩසටහනක් නොව, කෙටි කාලීනව ජනතාව සවිබලගන්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් සංවර්ධන වැඩසටහනක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
