Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 40ක් පමණ සෘජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රකාශවන බවත් ඉතිරි සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශවන බවත් ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුවිට මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 37 දෙනෙකු ඉදිරිපත්වන බව කී අමාත්‍යවරයා විපක්ෂයට වෙන්වන සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ සියලුම අපේක්ෂකයන් අතර බෙදීයනු ඇති බවයි.

විපක්ෂයේ සියලුම අපේක්ෂකයන් අතර සියයට 60ක ඡන්ද ප්‍රතිශතයක් බෙදීයනවිට ඔවුන්ට සියයට 20ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකිවනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව ප්‍රතිවාදී කිසිඳු අපේක්ෂකයකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අසලට ඒමට නොහැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බදුල්ල ප්‍රාදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කරලා 2/3 බලයක් සමග මන්ත්‍රීවරු 154 දෙනෙක් අපිට ලැබුණා. අපේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් ජාතික ප්‍රශ්නයක් මුල්කරගෙන ඡන්දය දෙන්නේ. එදා පාස්කු ප්‍රහාරයත් එක්ක ඇතිවුණු ජාතික ආරක්ෂාව ගැන හිතලා 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. ඊට පසුව තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ජයග්‍රහණ රැල්ලත් එක්කම 3/2 බලයක් ලැබුණා. මේ 153 එක්ක අපි ආණ්ඩුව කරගෙන යනකොට කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවුණු ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තිබුණු බලපෑම් උඩ ආණ්ඩුව දෙදරලා ගියා.

අද ජනාධිපතිවරණය තියෙන මේ වෙලාවෙදි කතාවෙන දෙයක් තමයි බහුතරය පාර්ලිමේන්තුවේ කාගෙද කියලා. අදත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපිට. දැන් අලුතින් එකතුවන ස.ජ.බ කණ්ඩායම හා උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු හේතුවෙන් අදත් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා.පොහොට්ටුවේ සහයෝගය දීපු 156 දෙනාගෙන් 103 දෙනෙක් ඉන්නේ අදත් අපිත් එක්ක.

මේ අය තමයි ගමේ මිනිස්සුන්ගේ ඡන්දය එකතු කරන අය. ඒ නිසා බහුතරයක් තියෙන මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ ජයග්‍රහණයට.

අපි හැමෝටම උවමනා වෙන්නේ රට ගොඩගන්න. දේශපාලන වේදිකාවල්වල කතා කරන දේ බලන්න. ඒ හැම තැනකදිම කතා කරන්නේ රට බේරගන්න රට ගොඩගන්න කියන දේ. හැබැයි හොඳින් මතක තියාගන්න අපේ රට අර්බුදයට පත්වුන වෙලාවෙදි ඔය කතා කරන කාටවත් පුළුවන්කමක් ලැබුණේ නෑ අපි මේ රට බාරගන්නම් කියන ප්‍රකාශය කරන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා හර්ෂද සිල්වා මහත්තයත් එක්ක එකතු වෙලා මහා බැංකු අධිපතිතුමත් එක්ක කතා කරලා ඇවිල්ලා ට්විටර් පණිවිඩයක් දාලා තිබුණා හර්ෂ ද සිල්වා ලංකාව තියෙන්නේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක මේක අපිට භාරගන්න බෑ. මේක බාරගත්තොත් අපිට ඉතා අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසා අපිට භාරගන්න බෑ කියලා කිව්වා. එහෙම තිබුණ වෙලාවක මේ රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.