Spread the love

නිමල් රාජපක්ෂ

මේ වන විට බන්ධනාගාරගතවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා ලබාදීමේ කඩිනම් තාක්ෂණික ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතුයැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ සහභාගිවු අවස්ථාවේදීය.

. පසුගිය කාලය තුළ පැවති රජයන් මේ වගේ අවශ්‍යම දෙපාර්තමේන්තු වෙනුවෙන් නිසි පරිදි මුදල් වෙන් කර නැහැ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.
රස පරීක්ෂක නිලධාරී පුරප්පාඩු, ආයතනයේ කාර්යක්ෂමතාව, රසායනාගාර පරීක්ෂණ උපකරණ ලබා ගැනීම, දෘඪාංග පද්ධතිය හා දත්ත පද්ධතිය ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමෙන් පසුව සංවර්ධනය කිරීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් දුරබැහැර අධිකරණවල සාක්ෂි ලබාදීමේදී විඩීයෝ තාක්ෂණය යොදා ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා වු අතර, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ මහත්මිය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.