නිමල් රාජපක්ෂ
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහියංගණය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදයාය ග්රාම නිලධාරී වසමේ ඉදිකෙරෙන නව නිවාස ව්යාපෘතියේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර, නිවාස රැසක ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී තිබේ.
එම ව්යාපෘතියේ වත්මන් ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මීට මාස තුනකට පමණ පෙර මුල්ගල් තබා ඉදිකිරිම් ආරම්භ කළ මෙම ව්යාපෘතිය යටතේ නිවාස 41ක් ඉදිකෙරෙමින් පවතින අතර, ඒවායේ ඉදිකිරීම් කටයුතු විවිධ අදියරයන් යටතේ වේගවත්ව සිදුකෙරේ.
මීට අමතරව, ආපදාවෙන් පීඩාවට පත් තවත් පවුල් සඳහා ඉඩම් කට්ටි 30ක් පමණ ලබාදීමටද සැලසුම් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ වශයෙන් හානි වූ සහ අධි අවදානම් කලාපවල පදිංචිව සිටින පවුල් 3,748ක් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්යාපෘතිය ක්රියාත්මක වේ.
ඒ අනුව, එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් අදියර තුනක් යටතේ, පිළිවෙළින් රුපියල් ලක්ෂ 20ක්, ලක්ෂ 15ක් සහ ලක්ෂ 15ක් වශයෙන් ප්රතිලාභී පවුල් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, අදාළ නිවාස ඉදිකරන ඉඩම් සඳහා පූර්ණ සින්නක්කර ඔප්පු ලබාදීමටද රජය සැලසුම් කර තිබේ.
නිවාස ඉදිකිරීම සඳහා ලබාදෙන මූල්ය ප්රතිපාදනවලට අමතරව, මෙම නිවාස ව්යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාද විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ යටතේ ප්රවේශ මාර්ග සංවර්ධනය කිරීම, ජලය සහ විදුලිය සැපයීමේ කටයුතු කඩිනමින් ක්රියාත්මක කෙරේ.
‘
මෙම වසර අවසන් වීමට පෙර ආපදාවෙන් පීඩාවට පත් සියලු පවුල් නව නිවාසවල පදිංචි කරවීම සඳහා අවශ්ය පියවර ගන්නා බවද අමාත්ය සමන්ත විද්යාරත්න මෙහිදී අවධාරණය කළේය.
