නිමල් රාජපක්ෂ
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික වැටුප් පිළිබඳ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි – රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න
රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. ඒ පිළිබඳව 2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් මහතා සභාපති ධුරයත්, නාලක දිසානායක මහතා ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්‍යාව පහළොවකි.
මෙම කොමිෂන් සභාවට, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්රවණතා සහ ගෝලීය ප්රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.
සර්වාගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ පළමු වතාවට බවත්ය.
රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්‍ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් පිළිබඳ ගැටලු දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ගනිමින් සිටියද ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
